හම්බන්තොට වරාය ආයෝජනයේ දෙවන කොටස් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 97.3ක මුදල චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දේ

හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා වන ආයෝජනය වෙනුවෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම 2017 දෙසැම්බර් 09 වැනි දින සහන ගිවිසුමකට අත්සන් තබන ලදී.  රාජ්‍ය හා පුද්ගලික ව්‍යාපාරයක්  (PPP) ලෙස ක‍්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා හිමිකම් භාරයේ ප‍්‍රථම අදියරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 389.462ක මුදලක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දුන් අතර, එහි ඉතිරි මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 97.365ක මුදල 2018 ජනවාරි 08 වැනි දින ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත භාර දීම සිදු වි ය.

මෙම අවස්ථාවේ දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක‍්‍රම දිසානායක මහතා තම අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ “CM Port” සමාගම වරාය ක්‍ෂෙත‍්‍රයේ ඉතා දැවැන්ත සමාගමක් වන අතර, ඔවුන් හම්බන්තොට වරාය තුළ ආයෝජනයට එකඟවීම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි විශිෂ්ඨ විශ්වාසයක් තබා කළ කාර්යයක් ලෙස විග‍්‍රහ කළ හැකි බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා සමාගම් දෙකක් පිහිටවූ අතර, ඒ යටතේ පළමු හා දෙවන අදියර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 600ක් ආයෝජනය කරන අතර, අතිරේකව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ද ආයෝජනය කෙරේ.  එමෙන්ම 2018-19 වසර තුළ තවත් විදේශීය ආයෝජකයන් ශ‍්‍රී ලංකාව වෙත ආකර්ශනය වීමෙන් ශ‍්‍රී ලංකාව නුදුරේ දීම එහි ඉලක්කගත සමුද්‍රීය හා සේවා සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වීම යථාර්තයක් බවට පත්වනු ඇත.

බහලූ පර්යන්ත මෙහෙයවීමේ ලෝකයේ විශාලත ම සමාගමක් වන චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිංග්ස් සමාගම, ශ‍්‍රී ලංකාවේ කොළඹ වරායේ CICT පර්යන්තය ද ඇතුලත්ව 2016 වසරේ දී බහලූ (TEUs) මිලියන 95ක් මෙහෙයවා ඇත.  චීනයේ හොංකොං (Hong Kong), ෂෙන්සෙන (Shenzhen)" ෂැංහයි (Shanghai)" නිංග්බෝ (Ningbo)" ක්වින්ග්ඩාවෝ (Quindao)" ඬේලියන් (Dalian)" ටියැන්ජින (Tianjin)" ෂැන්ජියෑන් (Zhanjian) සහ ක්ෂියාමන් බේ (Xiamen Bay) යන වරායයන් ද, එක්සත් ජනපදය, නයිජීරියාව, ඩිජිබුටී, ටෝගෝ හා තුර්කිය යන රටවල ඇතුළු ආසියාවේ හා යුරෝපයේ රටවල් කිහිපයක CM Portහෙවත් චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම බහලූ පර්යන්ත මෙහෙයුම් කටයුතු සිදු කරයි.

ඡායාරූපය: රාජ්‍ය හා පුද්ගලික ව්‍යාපාරයක් ලෙස ක‍්‍රියාත්මක ව්‍යාපෘතියේ දෙවන කොටස් මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 97.365ක මුදල ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය  වෙත සංකේතාත්මකව ලබා දුන් අවස්ථාව. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ ඒ.ඞී.ටී. ගුණසේකර, අධ්‍යක්‍ෂ (මුදල්) ශිරාණි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් හා HIPG හි සම්බන්ධීකරණ නිළධාරී තිස්ස වික‍්‍රමසිංහ, ප‍්‍රධාන මූල්‍ය නිළධාරී රේමන්ඞ් මූ සහ චයිනා මර්චන්ට් සමූහයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන නියෝජිත රේ-රෙන් යන මහත්වරුන් ඡුායාරූපයේ වෙති.