වරාය සහ නාවික අමාත්‍යාංශයේ වෙබ් අඩවිය විවෘත කෙරේ....

2020 වන විට ශ්‍රී ලංකාවේ වරාය සහ නාවික සන්නිවේදනය ඉහළ මට්ටමකට ගෙනෙන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ වරාය සහ නාවික අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය විවෘතකිරීමේ උත්සවයට අද (12) උදෑසන සහභාගීවෙමිනි. මෙම අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා, වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. එහිදී උත්සව සහභාව අමතමින් අර්ජුන රණතුංග මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් දේශපාලඥයින් වැඩ නොකළත් තමන්ගේ නම ප්‍රදර්ශනය කරමින් ජනප්‍රිය වෙන්න උත්සාහ කරන බවයි.

 “පසුගියකාලේ වෙබ් අඩවිවලින් සිද්ධ වුණේ එක එක්කෙනාගේ නම හදාගැනීම. එහෙම නැත්නම් අනවශ්‍ය කාරණා ඉෂ්ට කරගැනීම. නමුත් අපේ අරමුණ ඊට වඩා වෙනස් වූවක්. 2020 වර්ෂය වන විට අද අප විවෘත කළ වෙබ් අඩවියෙන් ශ්‍රී ලංකාවේ වරාය තොතුරු සියල්ල දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා.  මම සාමාන්‍යයෙන් ප්‍රදර්ශනයට එසේත් නැත්නම් පත්තරවලට රූපවාහිනියට කැමති කෙනෙක් නෙමෙයි. වරාය අමාත්‍යාංශය ලෙස, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලෙස ලබා ගත් ජයග්‍රහණ ගැන මාධ්‍යවලින් කියන්න ගියේ නැහැ. නමුත් දැන් මම හිතනවා ඒක අපේ දුර්වලතාවක්. සමහර අය යමක් කරන්නේ නැතිව පෙන්නනවා යමක් කරනවා කියලා. විෂයභාර අමාත්‍යවරයා විදියට තානාන්තරයක් ලැබුණොත් ඒක තමන්ට ලැබුණේ පෞද්ගලිකව කියලා විශාල දැන්වීම් පුවරු ගහන අයත් ඉන්නවා. චූටි දෙයට ලොකුවට කටවුට් ගහලා, පෝස්ටර් ගහලා මහජනතාව මුලාවට පත්කරන දේශපාලනඥයිනුත් ඒ අතරේ ඉන්නවා. අපේ උත්සාහය එවැනි බලා දේවල් නතර කරලා වඩාත් ඵලදායි ලෙස සංවර්ධන තොරතුරු මහජනතාව වෙත ගෙන යාමයි........”

දකුණු   ආසියානු    කලාපයේ උපරිම තරඟකාරිත්වයකින් යුත් සාමුද්‍රික සේවා මධ්‍යස්ථානය වශයෙන් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමෙන් ඉහළ මට්ටමේ සාමුද්‍රීය සේවාවන් ලබාදීම වරාය සහ නාවික අමාත්‍යාංශයේ දැක්මයි. එම දැක්ම මත ස්වකීය මෙහෙවර ඉටු කිරීමේදී වඩාත් ශක්තිමත් සන්නිවේදන ජාලයක් සහ මහජන සම්බන්ධතා පවුරක් නිර්මාණය කිරීමද අද විවෘත කළ වරාය සහ නාවික අමාත්‍යාංශ වෙබ් අඩවියේ මූලික අරමුණ වේ. www.portmin.gov.lk යන වෙබ් ලිපිනයෙන් ඔබට ඊට පිවිසිය හැකිය. දිනපතා යාවත්කාලීන කරන එම වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබා දීමටද අපේක්ෂා කෙරේ. නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති මැතිතුමා පැවසුවේ නූතන ලෝකයේ වරාය සන්නිවේදන අවශ්‍යතා සැපිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

“අපි ජීවත් වෙන්නේ ගෝලීය වශයෙන් කුඩා ගමක. මේ නිසා ඉතා ඉක්මනින් තොරතුරු ලබා ගැනීමේ පහසුකම් ඇතිව තිබෙනවා. කොළඹ වරායට පමණක් නෙවෙයි, ලංකාවේ ඕනෑම වරායකට පැමිණෙන නැවක සමාගම් ඒ ආශ්‍රිත තොරතුරු සොයා බලනවා.  ඉදිරියේදී ඒ තොරතුරු අපේ වෙබ් අඩවියටත් ඇතුළත් කිරීමටත් අපෙක්ෂා කරනවා....” යැයිද අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති මැතිතුමා පැවසීය.