වරාය රැකගැනීම හෝ විනාශ කිරීම සේවකයින් සතු වේ - ඇමති අර්ජුන රණතුංග පවසයි.

“වරාය අධිකාරියේ සංවර්ධන කටයුතු කරනකොට පසුගියකාලයේ දේශපාලන හස්තයන් කරපු ක්‍රියාදාමයන්ගෙන් අපි ඉතාමත් අසරණ තත්ත්වයකට පත්වෙලා  තියෙනවා. අද මේ අවස්ථාවේ නැතිවුණත් තමුන්නාන්සේලා දැනගත යුතුයි මගේ නියෝජ්‍ය ඇමතිතුමා, සභාපතිතුමා ඇතුළු සාමාන්‍යාධිකාරීතුමා, කළමනාකාර අධ්‍යක්ෂතුමන්ලා මේ සියලුම ප්‍ර‍ධාන නිලධාරීන්ට පසුගිය මාස තුනේදී තමුන්නාන්සේලා නොදන්න බොහෝ දේවල් තිරේ පිටුපස සිට කරන්න සිද්ධ වුණා. මේ සංවර්ධන කටයුතුවලදී විශේෂයෙන්ම හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ලොකු කතිකාවක් ඇවිල්ලා තියෙනවා. ඒවගේම නැගෙනහිර පර්යන්තය ගැනත්. මේ රටේ වරාය අධිකාරියේ ඇතිවීම හෝ නැතිවීම සිදුවන්නේ මේ වසර තුළයි කියා මම හිතනවා. අපි සියලු දෙනාට මේ වරාය නැති කරන්නත් පුළුවන්. ඒක ඇති කරන්නත් පුළුවන්. මම සාමාන්‍යයෙන් රජයේ දේවල් විකුණන්න අකමැති අමාත්‍යවරයෙක්. සමහර අවස්ථා තියෙනවා මම වුණත් ආයෝජකයන් ගෙනල්ලා වරාය කටයුතු සංවර්ධනය කරන්න එකඟ වෙනවා....” යනුවෙන් ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ කොළඹ වරායේ  පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.

“හම්බන්තොට වරායේ ප්‍ර‍ශ්නේ සම්බන්ධව සභාපතිතුමා, උපසභාපතිතුමා, කලමනාකාර අධ්‍යක්ෂතුමා ඇතුළු අතිරේක කලමනාකාර අධ්‍යක්ෂතුමා, අංශ ප්‍රධානීන්, මම අපි සියලුදෙනාම පාන්දර එක දෙක වෙනකන් සාකච්ඡා කරනවා. මම බලාපොරොත්තු වෙනවා ඒ කැපවීම තමුන්නාන්සේලාගෙනුත්. අධ්‍යක්ෂවරුන්ගේ, අංශ ප්‍ර‍ධානීන්ගේ පමණක් නෙවෙයි වරාය අධිකාරියේ සියලුම සේවකයින් එකතු නොවුණොත් වරාය අධිකාරියේ ගමන කොහෙද  කියන්නවත් බැහැ. අපි දැනුවත් කරලා තියෙනවා. සමහර ඒවා ඇහෙනවා. සමහර ඒවා ඇහෙන්නේ නැහැ. නමුත් මම මේ අමාත්‍යාංශයේ ඉන්නකන් වරාය අධිකාරියට අවශ්‍ය සියලුම හොඳ දේවල් කරන්න අපි සියලු දෙනාම එකඟවෙලා ඉන්නවා.

අටට ඇවිල්ලා හතරට යන ක්‍ර‍මවේදය අපි නවත්වනවා. වරාය අධිකාරිය ආරක්ෂා කරන්න ඕන නම් අපිට විශාල වැඩ කොටසක් මේ අවුරුද්දේ තියෙනවා. හම්බන්තොට වරාය ගැන අද සාකච්ඡා කරගෙන යනවා. තමුන්නාන්සේලා ඊයේ පෙරේදා පත්තර වල දකින්න ඇති ජනාධිපතිතුමාගේත් නියෝජිතයෙක් මේ කමිටුවකට පත් කරලා තියෙනවා. අපේ යෝජනා අපි දීලා තියෙනවා. සමහරවෙලාවට හම්බන්තොට වරාය අපිට අපේ මුදලින් කරගන්න බැරිවෙයි. ආයෝජකයෙක් අවශ්‍ය වෙයි. නමුත් අපි ආයෝජකයා ආවම අපි දැනගන්න ඕන අපිට අවශ්‍ය මොනවද කියන එක ආයෝජකයත් එක්ක සාකච්ඡා කරන්න. අන්න ඒ නිසා තමයි මම වෘත්තීය සමිතිවලට වුණත් කියන්නේ තමුන්නාන්සේලාට ලොකු වගකීමක් තියෙනවා මේ වරාය අධිකාරිය රැකගන්න. එහෙම නැතුව එක එක්කෙනාගේ හොරකම්වලට, එක එක්කෙනා කියන කියන පදයට බෙර ගහන්නේ නැතිව මේ  වරාය ආරක්ෂා කරන්න අද වරායේ සියලුම වෘත්තීය සමිති දේශපාලනය පැත්තක තියලා එක්කහු වීම වැදගත් අවුරුද්දක් බවට මෙය පත්කරගන්න. සමහර දේවල් අපිට කරන්න පුළුවන් වෙයි. අමාත්‍යවරයෙක් හැටියට මට කරන්න පුළුවන් වෙයි. කරන්න බැරි දේවල් තියෙනවා නම් ඒ බැරි දේවල් කරන්න පුළුවන් සේවකයොත් මේ ආයතනයේ ඉන්නවා. ඒ සේවකයින්ගේ හඞ වටිනවා.....” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.