කොළඹ වරායේ, CICT ආයතනය “e boat notes” සේවාව ක්‍රියාවට නංවන ශ්‍රී ලංකාවේ පළමු ආයතනය බවට පත්වෙයි.

කොළඹ වරායේ මෙහෙයුම් සිදුකරන CICT ආයතනය, e boat notes සේවාව කොළඹ වරායේ ක්‍රියාවට නැංවූ පළමු පර්යන්තය බවට පත්වෙයි. ශ්‍රී ලංකා රේගුව හා එක්ව හඳුන්වා දුන් මෙම විශේෂ සේවාවෙන් නාවික කෙෂ්ත්‍රයේ අපනයන ලේඛන කඩදාසි භාවිතය  සීමා  කිරීම සිදුවේ.

සාමාන්‍යයෙන් එක් බහළුමක් සඳහා අපනයන පහසුකම් මධ්‍යස්ථානය පිටු හතරක පමණ බෝට්ටු සටහන් ලබාගනී.  කෙසේනමුත් e boat notes සේවාව මගින් CDN පණිවුඩයක් නිකුත් වනු ඇත. මෙය නිල වශයෙන් නිකුත් කළ හැක්කේ ශ්‍රී ලංකා රේගුවට පමණයි. එමගින් පිරිස් බලය අඩු වන අතර ඒ හරහා ආයතනික ලිපි ලේඛන සඳහා යොදාගැනෙන කඩදාසි භාවිතය අවම වේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ CICT ආයතනයේ  ප්‍රධාන විධායක නිලධාරී රේ රෙන් මහතා පැවසූයේ,   CICT ආයතනය සිය ලේඛනගත ක්‍රියාවලියේදී යොදාගන්නා කඩදාසි ප්‍රමාණය අඩු කරගැනීමට මේ වනවිට වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නංවා ඇති බවයි.

“කොළඹ වරාය තුළ  e boat notes සේවාව භාවිත කිරීම ඇරඹීම සම්බන්ධව අප සතුටට පත්වෙනවා. ඒ වගේම අනෙක් පර්යන්ත ක්‍රියාකරුවන් අප ක්‍රියාවට නැංවූ මෙම e boat notes සේවාව අනුගමනය කරනු ඇතැයි මා විශ්වාස කරනවා. මෙම කටයුත්තේදී ශ්‍රී ලංකා රේගුව අප සමග සම්බන්ධවීම පිළිබඳවද මාගේ සතුට මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.....” යනුවෙන්ද හෙතෙම පවසයි.

CICT ආයතනය සිය මෙහෙයුම් ආරම්භ කළේ 2014  වර්ෂයේදීය. ඔවුන් සිය මෙහෙයුම් කොළඹ වරායේ දකුණු පර්යන්තයේ සිදුකරයි. දකුණු ආසියාවේ දැනට පවතින ප්‍රමුඛතම සහ නවීන තාක්ෂණයෙන් යුත් මෙම පර්යන්තයෙහි ලොව විශාල නෞකා මෙහෙයුම් කිරීමේ හැකියාවද පවතී. මේ වැඩසටහනේ තවත් අදියරක් වශයෙන් මෙම ආයතනය ඇමරිකන් ඩොලර් මිලියන 10 ක් යොදවමින් කොළඹ වරායේ “පරිසර හිතකාමී(Green Port)” සංකල්පය හඳුන්වා දී තිබේ.