ඔළුවිල් වරාය සංවර්ධනයට ඒකාබද්ධ සැලැස්මක්

ධීවර කටයුතුවලටද වැඩි පහසුකම් හිමි වන සේ ඔළුවිල් වරාය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා වරාය සහ නාවික අමාත්‍යාංශය සමග ධීවර අමාත්‍යාංශය එකඟ විය. එම එකඟතාව ඇති වූයේ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සහ ගරු ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) උදෑසන පැවැති සාකච්ඡාවකදීයි. ඔළුවිල් වරාය ව්‍යාපෘතිය විමසා බැලීම සඳහා එම සාකච්ඡාව කැඳවා තිබිණ. 

2008 වර්ෂයේදී ආරම්භ කළ ඔළුවිල් වරායේ ප්‍රධාන අංශ දෙකක් වේ. ඒ වානිජ වරාය සහ ධීවර වරායයි. එයින් ධීවර වරායේ ප්‍රමාණය හෙක්ටයාර 06කි. සම්පූර්ණ ජල ප්‍රදේශය ආවරණය කරන යාත්‍රා ද්‍රෝණියක් සහ මීටර් 300ක තටාක බිත්තියක් එම ධීවර වරායට අයත් වේ. මාළු වෙන්දේසි ශාලාව, දැල් පිළියම් කිරීමේ පහසුකම් සහ පරිපාලන පහසුකම්ද ඔළුවිල් ධීවර වරාය සතුය. අද පැවැති රැස්වීමේදී අර්ජුන රණතුංග අමාත්‍යතුමා පෙන්වා දුන්නේ වරාය ඉඳිකිරීම සඳහා පවරා ගත් ඉඩම්වලට වන්දි ගෙවීම් තවමත් අවසන් වී නොමැති බවයි. එම වන්දි ගෙවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට විශාල මුදලක් දැරීමට සිදුව ඇතැයිද මෙම සාකච්ඡාවේදී හෙළි විය. මුහුදු ඛාදනය සහ වැලි එකතුවීමේ ගැටළුවට ස්ථිර සාර පිළියම් යෙදිය යුතු බවද වරාය - ධීවර අමාත්‍යාංශ නිලධාරීන් පෙන්නා දුන්හ. අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ සියලු ගැටළු සොයා බැලීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කළ යුතු බවයි. ක්ෂේත්‍ර විමර්ශනයකින් පසුව මූලික වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා මෙම සාකච්ඡාවේදී අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

‘‘ඔළුවිල් වරාය වානිජ සහ ධීවර කටයුතු සඳහා ඉතා වැදගත් ස්ථානයක්. ඉදිරියේදී ජී. එස්. පී. ප්ලස් සහනය ලැබීමත් සමග මේ වරාය ඇති ඉල්ලුම ඉහළ යන්නත් පුළුවන්. ගල් අඟුරු සහ පොහොර ආනයනය කිරීම සඳහා මේ වරාය යොදා ගැනීමටත් අපි අපේක්ෂා කරනවා. එයින් කොළඹ වරායේ ඇති තදබදය අවම කර ගත හැකියි. ඒ සඳහා වරායේ වානිජ පරිශ්‍රය තවදුරටත් වැඩිදියුණු කළ යුතුයි. ඊට අමතරව ධීවර අමාත්‍යාංශයේද සහාය ඇතිව ඔළුවිල් ධීවර පරිශ්‍රය දියුණු කිරීමටද පියවර ගන්නවා....” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පැවසීය. සාකච්ඡාවේදී අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා අවධාරණය කළේ විශාල ධීවර යාත්‍රා හැසිරවීමේදී ඇතිවිය හැකි තදබදය අවම කර ගැනීම සඳහා ඔළුවිල් වරාය මනා පිටිවහලක් විය හැකි බවයි.

දැනට විශාල ධීවර යාත්‍රා පැමිණෙන්නේ දික්ඕවිට වරායට පමණි. කෙසේනමුත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට පනවා තිබූ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වනු ඇත. ඒ සමඟම ශ්‍රී ලංකාවට පැමිණෙන විශාල ධීවර යාත්‍රා සංඛ්‍යාවද වැඩි වනු ඇත. ඒ සඳහා ගැළපෙන අයුරින් ඔළුවිල් වරාය සංවර්ධනය කළ යුතුබව අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ අදහසයි. එකී සංවර්ධන කටයුතු සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ලබා දෙන සහයෝගයද මෙම සාකච්ඡාවේදී අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා අගය කළේය. සාකච්ඡාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංයේ ලේකම් මංගලිකා අධිකාරි, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.