වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය, වෙළඳ නාවික විෂයේදී ආසියාවේ ISO 9001: 2008 සහතිකය ලබා ගත් එකම ආයතනය බවට පත් වෙයි.

වරාය සහ නාවික අමාත්‍යාංශයේ වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය, වෙළඳ නාවික විෂයේදී ආසියාවේ ISO 9001 : 2008 තත්ත්ව සහතිකය ලබාගත් පළමු සහ එකම ආයතන බවට අද පත් විය. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවැති උත්සවයකදී එම තත්ත්ව සහතිකය වෙළඳ හා නාවික ලේකම් කාර්යාලයට පිරිනැමුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ටී. ජී. ජී. ධර්මවර්ධන මහතා විසිනි. එම තත්ත්ව සහතිකය පිළිගනිමින් අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ ප්‍රවීණයන්ගේ උපදෙස් ලබා ගැනීමේ සංස්කෘතිය වරාය ක්ෂේත්‍රයට හඳුන්වා දීමෙන් පසුව ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට වරාය සහ නාවික අමාත්‍යාංශය සමත් වූ බවයි.

“අපි වරාය සහ නාවික අමාත්‍යාංශය භාරගනිද්දී නිරන්තරයෙන්ම කල්පනා කළේ ප්‍රවීණයන්ගේ උපදෙස් ලබාගනිමින් කටයුතු කරන්න. නමුත් පසුගියකාලයේදී ප්‍රවීණයන්ගේ උපදෙස් ලබා ගත්තේ නැහැ. අද වෙළඳ හා නාවික ලේකම් කාර්යාලයට ISO 9001:2008 තත්ත්ව සහතිකය ලබාගැනීම සඳහා අමාත්‍යාංශයේ ලේකම්තුමා විශාල ප්‍රයත්නයක් දැරුවා. මෙම සහතිකය ලබාගැනීමට අපි බොහෝ කාලයක් සාකච්ඡා කළා. අද මේ ජයග්‍රහණය ලබාගැනීම සඳහා වෙහෙස මහන්සි වූ සියලුදෙනාටම මම සුභ පතනවා....... ”යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

වරාය හා නාවික අමාත්‍යාංශයට අයත් වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ වෙළඳ නාවික විෂයෙහි නීති සම්පාදනය හා නියාමනය සිදුකරන ශ්‍රී ලංකාවේ එකම ආයතනයයි. ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ ශ්‍රී ලංකාවේ කේන්ද්‍රස්ථානය ලෙසද මෙම ආයතනය හැඳින්වේ. එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනවිරත්න මහතා පැවසුවේ, මේ වනවිට ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) තම සමාජික රටවල සිදු කරන අනිවාර්යය විගණනයට මුහුණදීමේදී මෙම තත්ත්ව සහතිකය ලබාගැනීම වඩාත් පහසු වනබවයි. මෙම වසරේ ජූලි මස එම අනිවාර්ය විගණනය පැවැත්වීමට නියමිත බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. අන්තර්ජාතික ප්‍රමිති සහතිකය ලබාගැනීම නිමිති කරගනිමින් www.dgshipping.gov.lk වෙබ් අඩවිය විවෘත කිරීමද අද සිදුවිය. වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මහතා,  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා, වෙළඳ හා නාවික අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ටී. ජී. ජී. ධර්මවර්ධන මහතා ඇතුළු නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක්විය.