නිකසල වරායක් ඇතිකිරීමට ඇමති ජොන්ස්ටන් පෙරමුණ ගනී

වරාය සම්පූර්ණයෙන් ම කසලවලින් තොර කලාපයක් බවට පත් කරන්නේයැයි වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිකසල, විනයවත් පරිසරයක් නිර්මාණය කිරීමේ සංකල්පය අනුව අද (06) කොළඹ වරායේ සේවකයන්ගේ දායකත්වයෙන් පැවැති ශ්‍රමදානයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කෙළේ ය.

කොළඹ වරාය තුළ අබලි ද්‍රව්‍ය විශාල වශයෙන් එක් රැස් වී තිබේ. අපද්‍රව්‍ය තැනින් තැන දමා ඇති බව ද, ඇතැම් බිම්කොටස් වල්වැදී ඇති බව ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. ඒවා ශ්‍රමදානයකින් ඉවත් කළ නොහැකි තරමේ ප්‍රමාණයකි. එබැවින් අබලි ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය දෛනිකව ඉවත්කරමින් නිකසල පරිසරය කොළඹ වරාය තුළ දිගින් දිගටම නඩත්තු කිරීමට ත්, ඊට අවශ්‍ය ප්‍රමාණවත් සේවකයන් සංඛ්‍යාවක් යෙදවීමට ත් පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. එම කාර්යය අධීක්ෂණය කිරීම සදහා කණ්ඩායමක් පත්කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත්  ප්‍රකාශ කළේ ය.  ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන රැසක් පෙන්වාදුන්   අමාත්‍යවරයා වහාම එම ස්ථාන පිරිසුදු කිරීමට කටයුතු යොදන ලෙස නිලධාරීන්ට නියෝග කළේ ය.