ත්‍රිකුණාමලය වරායට නව කර්මාන්ත ආකර්ෂණය කරගැනීමට වැඩපිළිවෙළක් ඇරඹිය යුතුයි

ත්‍රිකුණාමලය වරායට නව කර්මාන්ත ආකර්ෂණය කරගැනීම සදහා වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

මෙතෙක් ත්‍රිකුණාමලය වරායේ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලැබුවේ දිවා කාලයේදී පමණකි. ජපානයෙන් ලැබුණු යෙන් මිලියන දහසක ප්‍රදානයක් ආයෝජනය කරමින් ආරම්භ කරන ලද ත්‍රිකුණාමලය වරායේ රාත්‍රී මෙහෙයුම් සදහා පහසුකම් සැලසීමේ ව්‍යාපෘතියේ වැඩ 95%ක් ම මේ වනවිට අවසන්කොට ඇත. එබැවින් මේ වනවිට ත්‍රිකුණාමලය වරායේ රාත්‍රී මෙහෙයුම් කටයුතු සිදුකිරීමට හැකියාව ලැබී තිබේ.

ත්‍රිකුණාමලය වරාය ප්‍රධාන වශයෙන් සමාගම් තුනක් භාවිතා කරන නමුත් එයින් සමාගම් දෙකක්ම වරාය අධිකාරියට ගෙවනුයේ මෙහෙයුම් ගාස්තුව පමණකි. මෙතෙක් ත්‍රිකුණාමලය වරාය ඔස්සේ ඇතුළත් කරනු ලැබුවේ සිමෙන්ති , ක්ලින්කර් තොග යනාදියයි. මේ දිනවල සුළං මෝල් ( wind mills ) එම වරාය හරහා ඇතුළත් කරගනුයේ පුත්තලම් ප්‍රදේශයේ ව්‍යාපෘතියක් සදහා ය. එවැනි කර්මාන්ත තවදුරටත් ත්‍රිකුණාමලය වරායට ආකර්ෂණය කරගත යුතු බව ත්, වරායේ මෙහෙයුම් ධාරිතාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් ඊළඟ පර්‍යන්තය ඉදිකිරීමට හැකිවන තරමේ දියුණුවක් ත්‍රිකුණාමලය වරායේ ඇතිකළ යුතු බව ත්,  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ වරාය නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ඊයේ (04) අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අදහස් පළකෙරිණ