වරාය සහ නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ අය වැය කතාව - 2019

“ජය බහළු පර්යන්තය අද ලෝකයේ බහළු ගෙනයන විශාලම නෞකා වලට ඇතුළුවිය හැකි පර්යන්තයක් නොවේ. ගැඹුරු මුහුදක් තියෙන පර්යන්තයක් නොවේ. දැනට අපේ ගැඹුරු පර්යන්තය සී අයි සී ටී පර්යන්තය. ඊළඟට මොකද්ද කරන්නේ කියන එක තමයි හැමෝම අහන ප්‍රශ්නය. ඊළඟට අපිට කරන්න තියෙන්නේ ඊ සී ටී පර්යන්තය දියුණු කරන එක. අපේ ප්‍රමාද රාශියක් වුණා. දැන් අපි ඉතාම ඉක්මනින් තීන්දු තීරණ අරගෙන ඉදිරියට යන්න ඕන කාලය. දැනට කොටසක් ඉදිකරලා තියෙන්නෙ. අවශ්‍ය දොඹකර ගෙනල්ලා වැඩ ආරම්භ කරන්නත් පුළුවන්. නමුත් ඒ ක්රේන් ගේන එකත් මම කියන තරම් පහසු නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාවලියට වර්ෂයක් පමණ ගතවෙනවා. ඉන් පස්සේ ඒවා සවි කරන්නත් කාලයක් යනවා. මේ ටික වෙනකොට අපිට ප්‍රමාද නැතිව කළොත් තමා අපිට ගොඩඑන්න පුළුවන්. විවිධ යෝජනා තිබ්බා. මම අමාත්‍යංශය භාරගත්තට පස්සේ මම කැමතියි කියන්න ඒ යෝජනා පිළිබඳ තවත් කතා කරලා අද අපට පුළුවන් වෙලා තියෙනවා හො‍ඳ තැනකට එන්න. අති ගරු ජනාධිපතිතුමා සමගත් මම කතා කළා. එතුමා කිව්වා ඉදිරියට කරගෙන යන්න කියලා. අග්‍රාමාත්‍යතුමත් කිව්වා ඉදිරියට කරගෙන යන්න කියලා. දැන් අපි සාකච්ඡා ටික අවසන් කරලා කැබිනට් මණ්ඩලයට එන්න සූදානම් කරලා තියෙනවා.

කෙටියෙන් කීවොත් වරාය අධිකාරිය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරනවා. ඒ සඳහා අපට ජපානයෙන් ඉතාම සහනදායී පොලියකට වර්ෂ 40 ක කාලයක ණයක් ලැබෙනවා. පළමු වසර දහයේ අපි ණය ගෙවන්න අවශ්‍ය නැහැ. සියයට දශම එකයි පොලිය. අපි සංවර්ධනය කරනවා අපි ප්‍රධාන දොඹකර ටික ගන්නවා. පසුව අපි සමාගමක් හදනවා මෙහි මෙහෙයුම් කටයුතු සිදුකරන්න පමණක්. අයිතිය වරාය අධිකාරියේ. මෙහෙයුම් කටයුතු සිදුකරන සමාගමෙන් සියයට 51 කුත් අපි තියාගන්නවා. බහුතරය අපි තියාගන්නවා. ඉතිරි ටික අපි උපාය මාර්ගිකව ඒකට අවශ්‍ය වෙන ජොයින්ට් වෙන්චර් පාර්ට්නර්ස්ලා සොයාගන්නවා ජපානය ඉන්දියාව වැනි රටවල් සමග කතාකරලා. මේ වරාය කටයුතු කරද්දී උපාය මාර්ගිකව කටයුතු කරන්න ඕන වැඩ කරන අයත් එකතු කරගන්න. විශාල නැව් සමාගම් අවශ්‍ය වෙනවා . ඒ වගේම විශාල නැව් මෙහෙයුම් කරන සමාගම් අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධතා සමග තමයි අපේ වරායට අවශ්‍ය ඒ ප්‍රති අපනයන වලට අවශ්‍ය බහලු ධාරිතාවය අපිට ආකර්ෂණය කරගන්න පුළුවන්. ආකර්ෂණය කරගත්තේ නැත්නම් අපිට රටක් වශයෙන් කොළඹ වරාය පිහිටුවලා ඇති ස්ථානයේ වාසිය ගන්න බැරිවෙනවා. ඒ වාසිය ගන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්න එක තමයි අපි මේ වෙලාවේ අරගෙන ඉදිරියට කටයුතු කරන්නේ. තාක්ෂණය අවශ්‍යයි මේ වරායේ කටයුතු ඉදිරියට කරගෙන යන්න. අපි කාර්යක්ෂම වෙන්න ඕන නම් ලෝකයේ අනිකුත් වරායන් සමග විශේෂයෙන් කලාපයේ වරායන් සමගත් තරග කරන්න.

ගාලු වරාය සංචාරක වරායක් හැටියට අපි දියුණු කරන විට ඒකෙ ආර්ථික වාසිය පොඩි මිනිහටත් ලැබෙනවා. ඒ අවස්ථාව තමයි අපි ලබාදෙන්නේ. අපි හඳුනගෙන තියනවා ඒ වාසිය ගන්න පුළුවන් කියලා. ලිබරලයිසේෂන් ගැන අවස්ථා කිහිපයකදි ස‍ඳහන් වුණා.  මම කියන්න කැමතියි ඒක අපේ පුමුඛතා ලැයිස්තුවේ තියෙන එකක් නෙවෙයි මේ අවස්ථාවේ විශේෂයෙන් දේශීය කර්මාන්තය රැකගන්න අපි කටයුතු කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. දැන් අපේ වරායේ සී අයි සී ටී පර්යන්තයේ සියයට 85 ක ආයෝජන කරලා තියෙන්නේ විදේශ සමාගමක්. වරාය හා නාවික ක්ෂේත්‍රයේ කාටවත් ඇතුළුවෙන්න බාධක නැහැ. හම්බන්තොට වරාය ගැන සඳහන් වුණා. සී එම් පෝර්ට් සමාගම තමයි ඒකත් කරන්නේ. 2011 ඒක දෙනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ ඒක හොඳයි. අද හම්බන්තොට වරාය මහින්ද සමරසිංහ මන්ත්‍රීතුමා ඉතාම දක්ෂ ලෙස ඒ කටයුතු උපාය මාර්ගිකව හිතලා දෙනකොට ඒක වැරදියි. හම්බන්තොට වරාය හැදුවා නමුත් ඒකෙ ණය ටික ගෙවන්න ක්‍රියාමාර්ගයක් සකස් කළේ නැහැ. අපි ඒක කරනවා. හම්බන්තොට කර්මාන්ත පුරය හා නව නගර ඇති කරලා අපි රැකියා ප්‍රමාණයක් ඇති කරන්න අපි අවස්ථාව හදනවා......”