දේශපාල‍ඥයින්ගේ ඇතැම් තීරණ ආයතනයක සේවකයන් වෙනස් කරනවා - ලද දෙයින් පමණක් සතුටු වුණානම් අද බොහෝ දේවල් වෙනස් වෙන්න තිබුණා_ඇමති අර්ජුන පවසයි.

අපේ සංස්කෘතිය හා බැදුණු ඇතැම් ලක්ෂණ වෙනස් කිරීමට සිදුවන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උපාධිධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද නායකත්ව සංවර්ධන වැඩසටහනකදී අදහස් දක්වමිනි. වැඩසටහන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයෙහි පැවැත්විණි. එතුමා එහිදී වැඩිදුරටත් කියාසිටියේ ජය පරාජය සම සේ දරාගැනීම, ලද දෙයින් සතුටු වීමේ මානසිකත්වය වැදගත් නමුත් පළමුවැනියා වීමේ අරමුණ සෑම අයෙකුගේම සිත්හි තිබිය යුතු බවයි. එසේම දැන උගත් පිරිසක් ලෙස ආයතනය තුළ ඉදිරි ගමනක් යෑමට පෙර තම ආයතනය රැකගැනීම සඳහා කටයුතු කළ යුතු බවද එතුමා එහිදී අවධාරණය කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා, විධායක අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහත්ම මහත්මීන් රැසක් එක් වූහ.

 “ මම දකින දෙයක් තමයි බොහෝදෙනක්ව ඉස්සරහට තල්ලු කරගෙන යන්න ඕන. සංස්කෘතිය, ඉතිහාසය සමග අපි බැඳිලා ඉන්නේ. දිනුම, පැරදුම දෙකම භාරගන්න කැමතියි. එවැනි ක්‍ර‍මවේදයක් තමයි තියෙන්නේ. බොහෝදෙනෙක් හැම වෙලාවෙම අඩි දෙකක් පසුපසට ගන්න බලාගෙනයි ඉන්නේ. නමුත් එසේ නොවිය යුතුයි. මෙතන ඉන්නේ උපාධිධාරීන්. මම ක්‍රිකට් ක්‍රීඩාවේදීත් ඒ ක්‍ර‍මවේදය වෙනස් කළා. එහෙම කරද්දී මට එක එක වචන කිව්වා. නැපෝලියන් කිව්වා. ඒකාධිපතියා කිව්වා. නමුත් මොනදේ කිව්වත් අන්තිමේදී මට වැඩේ කරන්න පුළුවන් වුණා. මෙතන ඉන්නේ නායකයන්ටත් මම කියන්නේ දෙවැනියා වෙන්න හදන්න එපා. තමන්ගේ අධ්‍යාපනය වෙන්න පුළුවන්, කාර්යාලයේ වෙන්න පුළුවන් ඕනෑම තැනකදී පළමුවැනියා වෙන්න හිතට ගන්න. කවුරු හෝ හිතනවා නම් මේ ආයතනයේ කලමනාකාර අධ්‍යක්ෂ වෙන්න බැහැ කියලා මේ ආයතනයේ වැඩ කරන්න එපා. ගෙදර යන්න. තමන්ට ජීවිතේ දැක්මක් තිබිය යුතුයි. අපිට එම  ස්ථානයට එන්න සමහර වෙලාවට බැරි වෙයි. නමුත් ඒ සමීපයට හෝ යන්න අවස්ථාවක් ලැබෙනවා. මමත් තරග දිනලා තියෙනවා. පැරදිලත් තියෙනවා. අපි ඒ ක්‍රමවේදය හදාගත යුතුයි. අපි හැදිච්ච සංස්කෘතියත් සමග දිනුම පැරදුම විඳ දරාගන්න ඕන කියලා කියනවා. ලැබෙන දෙයින් සතුටු වෙන්න ඕන කියනවා. මම නම් ඒ අදහස් වලට කැමති කෙනෙක් නෙවෙයි. අද වරාය අධිකාරිය හැටියට හම්බන්තොට, කොළඹ නැගෙනහිර පර්යන්තය ගැන අපි තරග කරන්නේ ඒ නිසයි. දෙන දේ අරගෙන, තියෙන දේ දීලා ඉන්න පුද්ගලයෙක් විදියට මමත් හිටියා නම් අද වනවිට හුඟක් දේවල් වෙනස් වෙන්න තිබුණා. මේක මගේ අම්මගේ අප්පගේ භූදලය නෙවෙයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ භූදලයකුත් නෙවෙයි. නමුත් මේ රටේ ආයතන ආරක්ෂා කරන්න අපිට යුතුකමක් තියෙනවා. විශේෂයෙන්ම උපාධාධාරීන් හැටියට තමුන්නාන්සේලාටත් යුතුකමක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. මම මෙතන ඉන්න පුළුවන්, සභාපති ඉන්න පුළුවන්, අධ්‍යක්ෂවරු ඉන්න පුළුවන්. නමුත් අපි ආයතනයක් හැටියට ඉදිරියට යන්න අවශ්‍යයි. ආයතනය ඉස්සරහට යද්දී  සියලුදෙනාට ඉදිරියට යන්න පුළුවන් තමන්ගේ උගත්කම සමග. නමුත් උගත්කම කොළයට පමණක් සීමා කරන්න එපා. එය ප්‍රායෝගික විය යුතුයි. අපි ඉදිරියට ගේනවා පහළ තලයේ සේවකයින්ට ඉහළටම යෑමේ‍ පිරමිඩ සංකල්පයක්. උගත් අයට තමන්ගේ ඉගෙනීමට අනුව තම අරමුණ කරා ළගා වීමේ හැකියාව ඒ තුළින් උදාවෙනවා.

තමා කොහෙද යන්නේ කියන එක තමා දැනගත යුතුයි. ඒක තීරණය කළ යුත්තේ තමාමයි. ඒ නිසා පළමුවෙන්ම තමන්ගේ දක්ෂතාවය හඳුනාගන්න. තමන්ගේ තියන අදහස් මේ සඳහා එක් කරන්න. අදහස් තිබුණට වැඩක් නැහැ. අදහස් ක්‍රියාත්මක වෙන්නත් ඕන. සමහර දේශපාලන පක්ෂ තියෙනවා. කියවනවා නමුත් කරන්නේ කොහොමද කියන උත්තරය දෙන්න දන්නේ නැහැ. අපි යම්කිසි ප්‍ර‍ශ්නයක් සම්බන්ධව කතාකරද්දී ඒ ප්‍ර‍ශ්නයට පිළිතුරක්ද ඇතිව කතා කළ යුතුයි. පසුගියකාලයේ මේ රටේ සිදු වුණ වැරැද්ද ඒකයි. හුඟදෙනෙක් ප්‍ර‍ශ්න කතා කරනවා. උත්තරයක් නැහැ. ඒක තමයි අපිට උගත් අයගෙන් අවශ්‍ය වෙන්නේ. මේ වරායේ අපිට පේන්නේ නැති සමහර දේවල් ඔබට පේනවා. ප්‍ර‍ධානීන්ට පේන්නේ නැති දේවල් ඔබට පේනවා. ඒ නිසා තමුන්නාන්සේලාට ලොකු වගකීමක් තියෙනවා ආයතනයේ දියුණුව සඳහා තමන්ගේ දැනුම බෙදාගන්න ක්‍ර‍මවේදයක් හදාගන්න‍. සමහර දේවල් දේශපාලඥයන් නැති කරන්න යද්දී සේවකයන්ට පුළුවන් ඇති කරන්න. ඒ නිසා මෙය රටට තියෙන ප්‍ර‍ධානම මුදල් ලබාදෙන ආයතනයක් හැටියට මේ වසර දෙක මම හිතනවා නාවික අංශයේ ප්‍ර‍ධානම අවුරුදු දෙක බවට පත්වෙනවා. ඒ සඳහා අපි සැලසුම් හදලා තියෙනවා. නමුත් සමහර සැලසුම් හැදුවට ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා.....” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසීය.