ඩෙන්මාර්ක් තානාපති, වරාය ඇමති හමුවේ.

ශ්‍රී ලංකාවේ ඩෙන්මාර්ක් තානාපති පීටර් ටක්සෝයි ජෙන්සන් (Peter Taksoe-Jensen) මහතා ගරු වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා මුණගැසේ. අද (25)  පෙරවරුවේ වරාය හා නාවික අමාත්‍යාංශයේදී එම හමුව සිදුවිණ.

 

පීටර් ටක්සෝයි ජෙන්සන් (Peter Taksoe-Jensen) මහතා ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ මාලදිවයින යන රටවල් හතරෙහිම ඩෙන්මාර්ක් තානාපති වශයෙන් කටයුතු කරයි. එතුමාගේ තානාපති කාර්යාල පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ නව දිල්ලි නුවරය.  2010 වසරේ සිට 2015 වසර දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙන්මාර්ක් තානාපති වශයෙන් කටයුතු කළේද පීටර් ටක්සෝයි ජෙන්සන් මහතාය. එතුමා 2003 වසරේ සිට 2008 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිමය කටයුතු පිළිබඳ සහකාර ලේකම් ලෙසද කටයුතු කළේය. එතුමා පසුගිය දින ශ්‍රී ලංකාවට පැමිණියේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් සමුළුවට(UNDP Conference) සහභාගීවීම සඳහාය. එම සමුළුව ඊයේ කොළඹදී පැවැත්විණ. අද පෙරවරුවේ වරාය සහ නාවික අමාත්‍යාංශයට පැමිණි ඩෙන්මාර්ක් තානාපතිතුමා පිළිගත්  වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඔහු සමඟ දීර්ඝ සාකච්ඡාවකද නිරත විය. ශ්‍රී ලංකා වරාය ක්ෂේත්‍රයෙහි ආයෝජන අවස්ථා කවරේදැයි මෙම සාකච්ඡාවේදී පීටර් ටක්සෝයි ජෙන්සන් මහතා විසින් සොයා බැලිණ. දෙරට අතර පවත්නාවූ නාවික වෙළඳ සහයෝගීතාව වැඩි දියුණු කිරීම ගැනද මෙම හමුවේදී අවධානය යොමු විය.