ගාලුමුවදොර සිදුවන අක්‍ර‍මිකතා සහ අඩුපාඩුකම් සොයාබැලීමට නිරීක්ෂණ කණ්ඩායමක්

කොළඹ ගාලුමුවදොර පිටියෙහි සිදුවන අක්‍ර‍මිකතා හා අඩුපාඩුකම් සොයාබැලීම සඳහා නිරීක්ෂණ කණ්ඩායමක් පැය 24 පුරා යෙදවීමට කටයුතු කරන්නැයි වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. එතුමා මේ බව කියාසිටියේ පසුගියදා කොළඹ ගාලුමුවදොර පිටියේ නිරීක්ෂණ සංචාරයක නිරතවීමෙන් අනතුරුව අදහස් දක්වමිනි. එම සංචාරයෙන් පසුව ගරු අමාත්‍යවරයා විසින් ගාලුමුවදොර පිටියේ පරිපාලන හා සංවර්ධන කටයුතු විධිමත් කිරීම සඳහා වැදගත් තීන්දු තීරණ රාශියක් ඉදිරිපත් කරන ලදි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “ඉන්න හිතෙන තැනක් නිර්මාණය කිරීමේ” සංකල්පයට පණ පොවමින් ගරු ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු අමාත්‍යවරයා මහජනතාව හට විවේකීව ගත කිරීමට සුදුසු වටපිටාව හා මානසික සුවය ලබාගැනීමට උචිත පරිසරය ගොඩනැගීම මෙන්ම මුහුදු වෙරළ ආශ්‍රිත ගාලුමුවදොර පිටිය ඉතා පිරිසිදු හා ප්‍ර‍සන්න තැනක් බවට පත්කිරීමේ අරමුණින් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරීමට මෙලෙස සංචාරයක නිරත විය.  

ගාලු මුවදොර පිටිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඒ සඳහා කඩිනමින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව වරාය අධිකාරියේ බලධාරීන් දැනුවත් කළේය. එහිදී දින 03 ක් ඇතුළත ගාලුමුවදොර පිටියේ පවතින අඩුපාඩු වහාම පිළිසකර කිරීමට අමාත්‍යවරයා නියෝග කළ අතර සංචාරකයින්ට හා නරඹන්නන්ට බාධා නොවන අයුරින් මාර්ග ප්‍ර‍තිසංස්කරණය කිරීම, කඩ සාප්පු පවත්වාගෙන යාමේදී මිනිසුන්ගේ නිදහසට බාධාවක් නොවන අයුරින් වෙළඳාම් කටයුතු සිදුකිරීමට ක්‍ර‍මවේද සැකසීම හා වෙරළ තීරය සම්පූර්ණයෙන් ම පවිත්‍ර‍ කිරීම යනාදී කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ගරු අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.

මෙම සංචාරය සඳහා ගරු අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුළ හේවාවිතාරණ මහතා ඇතුළු නිළධාරීන් රැසක් එක්වූහ.