ශ්‍රී ලංකා වරාය අධිකාරිය පළමුවරට ලෝක ළමා දිනය සමරයි.

හෙටට යෙදෙන ලෝක ළමා දිනය සැමරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක් වේ. වරායේ අභිමානය දරුවන්ටත් යන තේමාව යටතේ එම සැමරුම් උළෙල පැවැත්වෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහනෙහි මූලික ඉලක්කය වරාය සේවක සේවිකාවන්ගේ දරුවන්ගේ දක්ෂතා වර්ධනය කිරීමයි. හෙට පෙරවරු 9.00 ට වැඩසටහන ආරම්භ වනුයේ කොළඹ වරායේ මගී පර්යන්තයෙනි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලෝක ළමා දිනය සමරන පළමු අවස්ථාව මෙයයි. වයස අවුරුදු 09 ත් 12 ත් අතර කුඩා දරු දැරියන් පන්දහසකට අධික ප්‍රමාණයක් සඳහා මෙම සැමරුම් උත්සවයට ආරාධනා කර තිබේ. මෙම සැමරුම් උත්සවය සඳහා සහභාගීවන සෑම දරුවකු සඳහාම තිළණ ප්‍රදානය කිරීමද විශේෂත්වයකි. එය ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍යතුමා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමාගේ සුරතින් සිදුකෙරේ.  

මෙම දරුවන්ට සමුද්‍රීය කෙෂ්ත්‍රයේ පැරණිතම කෞතුකාගාරය වූ  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමුද්‍රික කෞතුකාගාරය නැරඹීමේ අවස්ථාව ද උදාවනු ඇත.