වරාය අධිකාරියේ දක්ෂයින්ට ඉහළට යෑමේදී  සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැහැ - ඇමති අර්ජුන රණතුංග පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කිසිවකුටත් හිතවත්කම් මත උසස්වීම් ලබානොදෙන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ආගම් ජාති භේදයකින් තොරව සමාන වරප්‍රසාද භුක්තිවිඳීමේ අවස්ථාව වරාය අධිකාරියේ සෑම කෙනෙකුටම අද උදාවී ඇති බවයි. ආගම්වාදය අවුස්සමින් කටයුතු කරන ඇතැම් පිරිස්ද සිටින මේ කාලයේ සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ  රාමසාන් සමයේ සිය උපවාස කාලය අරඹන වරාය අධිකාරියේ මුස්ලිම් බැතිමතුන් අමතමිනි. සිංහල, දෙමළ, මුස්ලිම් භේද නොසලකා සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් බව සිතා සහයෝගයෙන් ක්‍රියාකිරීමෙන් සාර්ථකත්වය ළඟා කරගත හැකි බව ද එතුමා මෙහිදී අවධාරණය කළේය.

“උසස්වීම් ගන්න මේ සේවකයෝ කවුරුත් කාගේවත් පස්සෙන් යන්න ඕන නැහැ. යූනියන් පස්සේ යන්න ඕනෙත් නැහැ. දක්ෂතාවට සුදුසු තැන ලැබෙනවා. අසාධාරණයක් වුණොත් බදාදා දින වරාය අමාත්‍යාංශයට ඇවිත් මාව හමුවෙන්න. සෑම බදාදා දිනකම වෙනමම මහජන දිනයක් මම වරාය සේවකයින් වෙනුවෙන් පවත්වනවා. එතන ආගම් භේද හෝ ජාති භේද නැහැ. අමතක කරන්න එපා ඇතැම් දේශපාලඥයින් ඉන්නවා ආගම්වාදය අවුස්සන. ඒ වගේම ආගම් වාදය අවුස්සන කොට්ඨාශ ඉන්නවා. ආගම්වාදය අවුස්සලා තමයි ඔවුන් තමන්ගේ වැඩේ කරගන්නේ. ඒ නිසා අපි සිංහල ද, මුස්ලිම් ද, දෙමළ ද කියන දේ පැත්තකින් තියලා අපි ශ්‍රී ලංකිකයින් ලෙස හැමදෙනාම හිතන්න ඕන. වරද කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් කවුරු වුණත් ඒ දේවල් නවත්වන්න අපිට පුළුවන් වෙන්න ඕන. මම දැක්කා අවුරුදු ගාණක් එකම තැනක සේවක කරන අය. කිසිම උසස්වීමක් ඔවුන්ට නැහැ. මීට කලින් කිසිම ක්‍රමවේදයක් වරායේ තිබුණේ නැහැ සේවකයින්ට ඉහළට යන්න. නමුත් දැන් අපි හදලා තියෙනවා සේවකයාට ඉහළට යන්න වැඩපිළිවෙලක්. මේ දේවල් වලට සමහරු කැමති නැහැ.....” යනුවෙන්ද අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන මුස්ලිම් බැතිමතුන්ගේ සංඛ්‍යාව දහසකට අධික වේ. රාමසාන් මාසයේදී ඔවුන්ට ස්වකීය ආගමික චාරිත්‍ර ඉටුකිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇතිබව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුස්ලිම් මජ්ලිස්හි සභාපති අයි.එම්. හාරිස් මහතා පවසයි. මුස්ලිම් බැතිමතුන් සඳහා ගරු අමාත්‍ය අර්ජුන අණතුංග මැතිතුමා දක්වන සහයෝගය අගය කරන බවද ඔහු කියා සිටියේය.

 “ දැනට වරාය අධිකාරිය තුළ  අවුරුදු විස්සකට වැඩි කාලයක් මේ වැඩසටහන අපි කරගෙන යනවා. මීට කලින් වරාය තුල අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ඉදලා තියෙනවා. අපි ඇමතිතුමන්ගෙන් කිසි දෙයක් ඉල්ලා නැති වුණත් අපේ අමාත්‍යතුමා ඊයේ හවස 06ට විතර අපිව මුණගැසිලා පල්ලියට පැමිණ කිලෝ ග්‍රරෑම් 100ට වැඩි රට ඉදි ප්‍රමාණයක් ගෙනවිත් පල්ලියට බාරදුන්නා. මුස්ලිම් සේවකයින් වන අපි සෑම දෙනාම අමාත්‍යවරයාගේ මෙවැනි ක්‍රියා කලාපයන් නිසා ඉතාමත් සතුටින් වැඩ කරනවා. වරාය ඉතාහාසය තුල මෙවැනි සිදුවීමක් වූ පළමු අවස්ථාව මෙයයි. මෙය  අපි කිසිම දිනෙක අමතක කරන්නේ නැහැ. වරාය තුළ එතුමන් නැති දවසක වූවත් අපිට මේ පිළිබ‍ඳව කතා කරන්න පුළුවන්....” යනුවෙනි.