නාවික හා ජාත්‍යන්තර වෙළඳ කෙෂ්ත්‍රයේ ලොවම පිළිගත් වෘත්තීමය සුදුසුකමක් M.I.C.S  

එක්සත් රාජධානියේ වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනයේ ( I C S ) ශ්‍රී ලංකා ශාඛාවේ සම්මාන උළෙල පසුගියදා පැවැත්විණ. ඒ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙනි. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයෙහි පැවැත්වුණු එම අවස්ථාවට මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍ර‍ජිත් කුමාරස්වාමි මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා, සී/ස ලංකා නැව් සංස්ථාවේ සභාපති ශෂී ධනතුංග මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. එම අවස්ථාවේදී සභාව අමතමින් අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසූයේ රජයේ ප්‍ර‍ධාන අරමුණක් වන වෘත්තීමය අධ්‍යාපන සුදුසුකම් ඉහළ නංවාලීම සඳහා ICS ලංකා ආයතනයෙන් ලැබෙන දායකත්වය ප්‍ර‍ශංසනීය බවයි.

“ පසුගිය වසර කිහිපය තුළ මෙම ආයතනය සිදුකළ සේවාව අගය කළ යුතුයි. එමගින් වරාය සහ නාවික ක්ෂේත්‍රයේ සිටින පුද්ගලයින්ගේ දැනුම වර්ධනය කිරීමට වැඩසටහන් පවත්වාගෙන යනවා. අපේ රජයේ ප්‍ර‍ධාන අරමුණ පොදු සහ වෘත්තීමය අධ්‍යාපන සුදුසුකම් වැඩි දියුණු කිරීම. ඒ සඳහා  අපේ රජය ප්‍ර‍මුඛතාවයක් ලබාදෙනවා. රටක් ලෙස දියුණු වීමට එය මූලිකවම බලපානවා අපේ දිවයින ඉන්දියානු සාගරයේ හදවත බඳුයි. එමනිසා අපි නාවික පුහුණුවීම් සහ අධ්‍යාපන කටයුතු දියුණු කිරීම මගින් ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍ර‍ය දියුණු කිරීමට කටයුතු කරනවා. I C S ශ්‍රී ලංකා ශාඛාව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති ආයතනයක්. අපිට නාවික ක්ෂේත්‍රයේ අරමුණු ඉතා දක්ෂ ලෙස ළඟා කරගැනීමට මෙම ක්ෂේත්‍ර‍යන්  පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයින් අවශ්‍යයයි. ඒ සඳහා I C S ආයතනය සිදුකරන සේවය මම අගය කරනවා. වරාය සහ නාවික අමාත්‍යවරයා ලෙස අපිට අයත් ආයතනයක් වන ලංකා නැව් සංස්ථාව   I C S ශ්‍රී ලංකා ශාඛාව මෙහි පිහිටුවීමට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ වගේම I C S ශ්‍රී ලංකා ශාඛාව මගින් පවත්වන වැඩසටහන් නිසා බොහෝදෙනෙකුට M.I.C.S  සහතිකය ලබාගන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඒ හරහා නිලධාරීන්ට උසස් තනතුරු සඳහා මං පෙත් විවර වෙලා තියෙනවා...” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.

එක්සත් රාජධානියේ වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය ආරම්භ කළේ 1911 වර්ෂයේ දී ය. එම ආයතනය බ්‍රිතාන්‍යයේ රාජකීය වරපත් ලත් ආයතනයකි. වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනයේ සාමාජික සහතික පත්‍ර‍ නිකුත් කිරීම මෙම ආයතනයෙන් සිදු කෙරේ. එහි ශ්‍රී ලංකා ශාඛාව පිහිටුවන්නේ 1987 වසරේදීය. එහි සහතික පත්‍ර‍ පිරිනැමීම මෙවර පැවැත්වුණේ 23 වරටයි. එහිදී වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනයේ සාමාජික සහතික පත්‍ර‍ පිරිනැමූ සංඛ්‍යාව 8 දෙනෙකි. මීට අමතරව ඩිප්ලෝමාව, උසස්  ඩිප්ලෝව සම්පූර්ණ කළ විද්‍යාර්ථීන්ටද සහතික පත්‍ර‍ පිරිනැමීය. මෙම පුවත පිළිබඳ වැඩිදුර තොරතුරු www.portmin.gov.lk  වේබ් අඩවිය හරහා භාගත හැකිය.