යාපනයේ දූපත් අතර ප්‍රවාහනයට නාවික හමුදාවේ සහය... ජනපති අනුමැතිය ලබාදේ.

යාපනය අර්ධද්වීපයේ දූපත් ආශ්‍රිතව ආරක්ෂිත මගී ප්‍රවාහනය විධිමත් කිරීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සහාය ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගනී. ආරක්ෂක අමාත්‍යතුමා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව යාපනය දූපත් ආශ්‍රිත ජැටි සහ අවශ්‍ය ගොඩනැඟිලි ඉඳි කිරීම සඳහා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනේ.

වෙරළාසන්න මගී ප්‍රවාහන සේවය වරාය සහ නාවික අමාත්‍යංශය යටතට ගැණෙන විෂයකි. මගී ප්‍රවාහනයට යොදා ගන්නා නාවික යාත්‍රාවල ගුණාත්මක බව වැඩි කිරීම, දූපත් ආශ්‍රිත ජැටි නිර්මාණය, මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම ඇතුළුව සියලු නියාමනය කිරීම් සහ අධීක්ෂණ එම විෂයට ඇතුළත්ය. ඒ යටතේ යාපන ආර්ධද්වීපයේ දූපත් ආශ්‍රිත මගී ප්‍රවාහනය විධිමත් කිරීමට රජය මේ වසරේ වැය කරන මුදල රුපියල් මිලියන 50කි. එම ප්‍රතිපාදන යටතේ ඉඳි කෙරෙන ජැටි සහ ගොඩනැඟිලි ඉඳි කිරීමට නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීම සඳහා ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා විසින් “යාපනය හා දූපත් අතර ආරක්ෂිත ලෙස මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ජැටි පහසුකම් සංවර්ධනය කිරීම” යන ශීර්ෂය යටතේ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කෙරිණ. එම කැබිනට් පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ජැටි සහ ගොඩනැගිලි ඉඳි කිරීම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තාක්ෂණික උපදෙස් මත යාපනය දිස්ත්‍රික් ලේකම් මඟින් ඉටුකර ගැනීමට අපේක්ෂා කරන බවයි.

යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් 11න් මේ වන විට ජනාවාස වී ඇත්තේ දූපත් 7ක් පමණි. ඒ කුරිකට්ටුවාන්, නාගදීපය, ඩෙල්ෆ්, අනලතිව්, එළුවතිව්, කයිට්ස් සහ කරෙයිනගර්ය. එයින් ඇතැම් දූපත් සඳහා කෘත්‍රිම ගොඩබිම් මාර්ග විවෘතව පැවතියද ඇතැම් දූපත්වලට ප්‍රවේශ විය හැක්කේ මුහුදු මාර්ගයෙන් පමණි. කෙසේනමුත් අනාදිමත් කාලයක සිට මගී ප්‍රවාහන යාත්‍රාවල සහ ජැටිවල පවතින තාක්ෂණික ගැටළු හේතුවෙන් මගී ප්‍රවාහනය බොහෝවිට අනාරක්ෂිතව පවතී. මේ හේතුවෙන් එම ප්‍රවාහනය විධිමත් කිරීම වත්මන් රජයේ අපේක්ෂාවයි. එහි මුල්පියවර ලෙස යාපනය සුරුවිල්හිදී මුහුදු යාත්‍රාවල තාක්ෂණික තත්ත්වය පරීක්ෂා කරන දියත්මග ඉදිකිරීමටත්, වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උපකාර්යාලයක් යාපනය කයිට්හිදී පිහිටුවීමටත් වරාය සහ නාවික අමාත්‍යාංශය දැනටමත් පියවර ගෙන තිබේ.