කොළඹ වරායේ නව සමාජයක් පිහිටුවයි - එහි පළමු වැඩසටහන අනුරපුර පුදබිමෙන් ඇරඹේ.

කොළඹ වරාය කේන්ද්‍ර ගරගනිමින් නව සිවිල් සමාජයක් පිහිටුවයි. ඒ අනුරාධපුර පූජා භූමිය පවිත්‍රකිරීමේ වැඩසටහන දියත්කරමිනි. යහපත් සමාජ සත්කාරයෙන් අර්ථවත් සමාජයක් බිහිකරමු යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම නව සිවිල් සමාජය කොළඹ වරායේ තරුණ තරුණියන් ඉලක්ක කර පිහිටුවීමද විශේෂත්වයකි. වරාය සේවකයින් ගැන සමාජය තුළ යහපත් ආකල්පයක් ගොඩනැඟීමත් ජාතික මට්ටමින් සමාජයට සේවයක් කිරීමත්  මෙම සමාජයෙන් අපේක්ෂා කරන බවද එහි ලේකම් නිමල් ප්‍රසන්න මහතා පැවසීය.

“අතීතයේ සහ වර්තමානයේ සිදුවෙමින් පවතින වෘත්තීය සමිතිවල අදූරදර්ශී ක්‍රියාපිළිවෙළ අපි දැඩි ලෙස හෙළා දකිනවා. අපිට අවශ්‍යයි අපි ගැන සිතන සමාජයක්. ඒ නිසා මේ සමාජය පිහිටුවීමට අපි කටයුතු කරනවා. ඒ පදනම මත සේවකයාගේ ආත්ම අභිමානය සුරකීම සඳහා ඉදිරියේදී කටයුතු කිරිමට අප සැලසුම් කරමින් සිටිනවා.....” යනුවෙන්ද ඔහු එහිදී අදහස් දැක්වීය.

කොළඹ වරාය සමාජය ස්වේච්ඡා සංවිධානයකි. වරාය හා වරායට බාහිරව විශේෂඥ දැනුම ඇති විවිධ වෘත්තිකයන්ගේ සේවා දායකත්වය සහ උපදේශකත්වය මත එය ක්‍රියාත්මක කෙරේ. ජීවන කුසලතා සහ සමාජ සාරධර්ම බල ගන්වමින් ගුණ ගරුක, නීති ගරුක, නිර්මාණශීලි පුරවැසියෙකු  බිහිකර “සතුටු පිරුණු පවුලක්” ගොඩ නැංවීම  මෙම සමාජයේ මූලික අපේක්ෂාවයි. ඒ යටතේ අනුරාධපුරයේදී ක්‍රියාත්මක කළ පවිත්‍ර වැඩසටහන සඳහා වරාය බෞද්ධ සංගමයේ සභාපති කොටුව ශ්‍රී බෝධිරාජ විහාරාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ගරු නිකුල පඥ්ඥාසාර නායක ස්වාමීන්වහන්සේ ද එක්විය.