ලොව සිව්වැනි විශාලතම බහළුම් නෞකාව කොළඹ වරායට.

ලොව සිව්වැනි විශාලතම බහළුම් නෞකාව කොළඹ වරාය වෙත සේන්දු විය. ඒ පසුගිය 16 වැනිදාය. ‘MSC මායා’ නමින් හැඳන්වෙන එම නෞකාව කොළඹ වරායට අයත් කොළඹ ජාත්‍යන්තර බහළුම් සමාගමේ(CICT) දකුණු පර්යන්තයෙහි නැංගුරම්ලන ලදි. මෙවැනි විශාල බහළුම් නෞකාවක් කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මේ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ ජාත්‍යන්තර පර්යන්තයේ සාමාන්‍යාධිකාරී තිස්ස වික්‍රමසිංහ මහතා පැවසූයේ, රජයේ ඉදිරි දැක්මට අනුව නාවික මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරාය ස්ථාපිත කිරීමේදී මෙය ඉතා සුවිශේෂී අවස්ථාවක් වන බවයි.

“ලොව විශාලතම බහළුම් නෞකාවක් අද කොළඹ වරායට ආවා. අද කොළඹ වරායට ඓතිහාසික දවසක්. මෙම නෞකාව MSC නැව් සංස්ථාවට(Mediterranean Shipping Company) අයත් වෙනවා. අති විශාල බහළුම් මෙහෙයවීමේ හැකියාව  මෙම පර්යන්තය සතුයි. මේ නිසා කොළඹ වරායේ බහළුම් මෙහෙයුම් ධාරිතාවත් ඉහළ යනවා. නාවික මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිතවීමේදී රජයට මෙය ඉතා වැදගත් අවස්ථාවක්. දකුණු ආසියාවේ ගැඹුරුතම පර්යන්තය CICT සමාගම සතු නිසාත් විශාලතම බහළුම් මෙහෙයවීමේ හැකියාවක් පවතින නිසාත් ‘MSC මායා’ නෞකාව කොළඹ වරාය වෙත සේන්දු වුණා. යුරෝපයේ සිට පැමිණි මෙම නෞකාව නැවත චීනය බලා පිටත් වෙනවා. ඉන්පසු නැවතත් චීනයේ සිට යුරෝපය බලා ගමන් කරනවා...” යැයිද තිස්ස වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ලොව විශාලතම බහළුම් නෞකා අතර ‘MSC මායා’ නෞකාව හතරවැන්නේ පසුවේ. මෙය පැනමා රටට අයත් වේ. මීටර 395.4 ක දිගින් යුත් මෙම නෞකාව මගින් මෙහෙයවන සමස්ත බහළුම් ප්‍රමාණය 19224 කි. මෙයින් පළමු අදියරේදී 4848 ක බහළුම් ප්‍රමාණයක් කොළඹ වරායේදී මෙහෙයවා ඇති අතර මෙම වසර ඇතුළත මෙම අගය දෙගුණ වනු ඇති බව සමාගම පවසයි.   

ඒ අනුව ලොව සිව්වැනි විශාලතම බහළුම් නෞකාව කොළඹ වරාය සේන්දු වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත. මෙම විශේෂ අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් කොළඹ ජාත්‍යන්තර බහළුම් සමාගමේ(CICT) විධායක අධ්‍යක්ෂ රේ රෙන් මහතා පැවසූයේ, මෙම නෞකාව ලංකාවට පැමිණීම ඉතා සුවිශේෂී අවස්ථාවක් බවත් CICT පර්යන්තයේ සමස්ත ගැඹුර සනාථ කිරීම සඳහා මෙය කදිම නිදසුනක් වන බවත්ය