වරාය අධිකාරිය වෙත විශාල නෞකාසමාගම් ආකර්ෂණය කරගැනීමට නැගෙනහිර බහලු පර්යන්තය කඩිනමින්සංවර්ධනය කළ යුතුයි

නිශ්චිත ක්‍ර‍මවේදයකින් තොරව මෙතෙක් ක්‍රියාත්මක වූ නැගෙනහිර බහලු පර්යන්තයෙහි ඉදිරි සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කොට ඒ සඳහා විශාල නෞකා සමාගම් ආකර්ෂණය කරගැනීමට කටයුතු කිරීම වැදගත් වන බව මාර්ග, මහාමාර්ග සහ වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ පසුගියදා (26) වරාය හා නාවික අමාත්‍යංශයේ ශ්‍ර‍වණාගාරයේ පැවති සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි. 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දැනට ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ද එහිදී ගරු අමාත්‍යවරයාගේ අවධානයට ලක් විය. එහිදී නැගෙනහිර බහලු පර්යන්තය ක්‍රියාත්මක කිරීමට හා එහි මෙහෙයුම් ආරම්භ කිරීමට ඇති බාධාවන් පිළිබඳ විමසීමක් කළ ගරු අමාත්‍යවරයා වෙත පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිළධාරීන් පැවසූයේ, “මේ සඳහා දොඹකර අරගෙන නැහැ. 2015 දී සිදු වූ දේශපාලන වෙනස්වීම් සමග ඒක අවලංගු වුණා. ඉන්පසුව මෙහි රාජ්‍ය - පුද්ගලික හවුල්කාරීත්වය යටතේ  Public - Private Partnership එකකට යන්න තීරණය වුණා. ඉන්පසුව මේ සඳහා දොඹකර ගෙනත් කෙසේ හෝ මෙහෙයුම් කරනවා කියා තීරණයකට ආවත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. මේ අනුව ඉන්දියාව හා ජපානය සමග සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම කළා 2019 මැයි මාසයේ දී. ඒ අනුව දොඹකර ගන්න ඕන ජපන් රජයේ ඔවුන්ගේ සැපයුම්කරුවෙක්ගෙන්. නමුත් ඒ සඳහා කමිටු පත්කළත් ඒ අනුව කටයුතු කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. සහයෝගීතා ගිවිසුමට අනුව අපේ මුදල්වලින් දොඹකර ගන්න හැකියාවක් පැවති නිසා කැබිනට් අනුමැතියකින් දොඹකර මිළදීගන්න සූදානම් වුණා. නමුත් එයටත් හැකියාවක් ලැබුණේ නැහැ.....” 

 

“පළමු පියවර වශයෙන් කඩිනමින් දොඹකර ඇණවුම් කිරීමත්, ඒ සඳහා වඩාත් ලාභදායී සමාගම තෝරාගැනීම වැදගත් වන බවත්ය. එමෙන්ම සහයෝගීතා ගිවිසුමෙන් තොරව මෙය සිදුකරගෙන යාමට තීරණය කළහොත් වරායට දොඹකර මිළදීගැනීම සඳහා ප්‍ර‍මාණවත් මුදල් ඇති බව ද ඔවුන් පැවසීය. නමුත් දැනට මීටර 440 ක් ව පවතින පර්යන්ත මුහුදු තාප්ප (Key Wall) මීටර 600 ක් දක්වා දිගු කිරීම අත්‍යවශ්‍ය වන බව ඔවුන්ගේ අදහස විය. ඒ අනුව ඉදිරියට මීටර 160 ක් දිගු කිරීමේ කටයුතු දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදාගනිමින් සිදු කළ හැකි බවට අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.