ඩෙංගු මර්දන සතිය වෙනුවෙන් වරාය සහ නාවික අමාත්‍යංශයේ වැඩසටහන්

ජාතික ඩෙංගු මර්දන සතිය වෙනුවෙන් පසුගියදා(16) වරාය සහ නාවික අමාත්‍යංශය මගින් විශේෂ ශ‍්‍රමදානයක් ක‍්‍රියාවට නැංවීය. ඒ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ අදහසකට අනුවයි. අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සේවකයින්ගේ සහභාගීත්වයෙන් එම වැඩසටහන ක‍්‍රියාත්මක විය. එහිදී අමාත්‍යංශ පරිශ‍්‍රය හා ඒ අවට ප‍්‍රදේශයේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීම සිදු කෙරිණි. 

2017 වසරේ මාර්තු මස 29 වැනිදා සිට අපේ‍්‍රල් 04 දින දක්වා ජාතික ඩෙංගු මර්දන සතිය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. ඩෙංගු මර්දනය සඳහා රජය මඟින් ක‍්‍රියාවට නංවන එම ජාතික ව්‍යාපෘතිය අගයමින් සහ ඊට සහයෝගය පළ කරමින් මෙම වැඩසටහන ඊයේ ක‍්‍රියාවට නැංවීය.

2016 වසරේ රෝග විද්‍යා ඒකකය මගින් සිදුකරන ලද පර්යේෂණ වලට අනුව ඩෙංගු පැතිරෙන ස්ථාන ලෙස රට පුරා ස්ථාන ලක්ෂ 20ක් පමණ හඳුනාගෙන තිබේ. එයින් සියයට 20 ක්ම  රාජ්‍ය ආයතන වේ. මෙම රාජ්‍ය ආයතන අතර පාසල්, අමාත්‍යංශ සහ රෝහල් වැනි ස්ථාන ප‍්‍රමුඛස්ථානයක් ගනී. 2012 වසරේ නිකුත් කළ ජනපති චක‍්‍රලේඛයට අනුව සෑම අමාත්‍යංශයක් සඳහාම ඩෙංගු මර්දන ව්‍යාපෘති දියත් කොට ඩෙංගු මර්දන කමිටුවක් ද ස්ථාපිත කිරීමට අනුබල දී තිබේ. ඒ අනුව සියලුම අමාත්‍යංශ මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම ද අනිවාර්යය වනු ඇත. මේ සම්බන්ධව පරීක්ෂාකර බැලීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් යොමුකොට ඇති බව රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශීලා සමරවීර මහත්මිය පවසයි.