කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය (CICT) - 2016 වසරේදී බහාලුම් මිලියන දෙකක් හසුරුවයි.

2015   වසර   සමග   සැසඳීමේදී  28%ක   බහාලූම්   හැසිරවීමේ   වර්ධනයක්  ලබාගනිමින්  කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය (CICT) 2016 වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වන වසර තුළදී බහාලුම් මිලියන 02 ක් හැසිරවීමට සමත්ව තිබේ.

මෙම   දායකත්වය   හේතුවෙන්   කොළඹ   ජාත්‍යන්තර   බහාලූම්   පර්යන්තය   මෙහෙයුම්   කටයුතු ආරම්භ කළදා පටන් පසුගිය වසර තුන තුළදී කොළඹ වරාය පිට පිටම වර්ධනයක් ලබාගැනීමට සමත්වූ බව සමාගම පවසයි.

මෙම  සංධිස්ථානාත්මක  වර්ධනය  පිළිබඳව  අදහස්  දක්වමින්  CICT සමාගම  පවසන්නේ  කොළඹ දකුණු  බහාලූම්  පර්යන්තයට  පමණක්  හැසිරවීමේ  හැකියාව  තිබෙන බහාලුම් ප‍්‍රවාහනයේ  අති විශාල  නෞකා  (ULCC)  සහ  සුවිශාල  නෞකා  (VLCC)  2016  වසරේ  පර්යන්තය  හැසිරවූ  මුළු පරිමාවෙන් 70%ක් නියෝජනය කළ බවයි.

2016  වසරේදී  සමස්ත  කොළඹ  වරාය  ලබා  ඇතැයි  ඇස්තමේන්තු  කරන  11%ක  වර්ධනය  සඳහා කොළඹ  ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය  මගින්  සැලකිය  යුතු  දායකත්වයක්  ලබාදී  තිබෙන  බව සමාගම  පවසයි.  දැවැන්ත  පරිමාණයේ  නෞකා  වලින්  ප‍්‍රවාහනය  කරන  බහාලූම්  හැසිරවීමේ හැකියාව  තිබෙන  දකුණු  ආසියාවේ  පළමු  සහ  එකම  ගැඹුරු  මුහුදු  පර්යන්තය  වන්නේ CICT පර්යන්තයයි.

“කොළඹ  වරාය  විසින්  ලබාගෙන  තිබෙන  සමස්ත  වර්ධනයට  කොළඹ  ජාත්‍යන්තර  බහාලුම් පර්යන්තයේ  සාර්ථකත්වය  ප‍්‍රධාන  සාධකයක්  වී  තිබෙනවා. ”  යනුවෙන්  CICT  සමාගමේ  ප‍්‍රධාන විධායක  නිළධාරී,  රේ  රෙන්  මහතා  පැවසීය.  ‘‘2016  වසරේදී  CICT පර්යන්තය  විසින්  කොළඹ වරායට  කැඳවාගත්  අලුත්  නෞකා  පිළිබඳව  අප  අතිශය  සතුටු  වෙනවා.  ඒ  වගේම  කොළඹ වරායේ   සමස්ත   වර්ධනය   වෙනුවෙන්   අප   විසින්   ලබාදුන්   දායකත්වය   පිළිබඳව   ආඩම්බර වෙනවා.’’

කොළඹ  ජාත්‍යන්තර  බහාලූම්  පර්යන්තයේ  සාමාන්‍යාධිකාරී,  වාණිජ  සහ  අලෙවිකරණ  තිස්ස වික‍්‍රමසිංහ   මහතා   මෙසේ   අදහස්   දැක්වීය.   ‘‘බහාලුම්   මිලියන   02   ක   මෙම   ඓතිහාසික සංධිස්ථානයට  පැමිණීමට  අපගේ  මව්  සමාගම  වන  චයිනා  මර්චන්ට්ස්  පෝර්ට්  හෝල්ඩින්ග්ස් සමාගමෙන්  අතිවිශාල  සහයෝගයක්  ලැබුණු  බව  අනිවාර්යෙන්ම  සඳහන්  කළ  යුතුයි.  කොළඹ වරායට  නව  ප‍්‍රතිඅපනයන ව්‍යාපාරික  කටයුතු කැඳවා  ගැනීමට  ප‍්‍රධානතම  හේතුව  වී  තිබෙන්නේ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමේ ගෝලීය ජාලයට ප‍්‍රවේශවීමේ හැකියාව ලැබී තිබීමයි.   නව   සේවාවන්   සහ   නව   නාවික   සමාගම්   හඳුන්වා   දෙමින්   ඉතාමත්   සංවේදී   සහ අවිනිශ්චිත   ප‍්‍රතිඅපනයන   භාණ්ඩ   වෙළඳපොළ   තුළ   ජාත්‍යන්තරව   තරග   කිරීමට   අවස්ථාව කොළඹ වරායට CICT  පර්යන්තය විසින් උදාකර දී තිබෙනවා.’’

කොළඹ   ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය  (CICT) බහාලූම්  ප‍්‍රවාහනයේ  අති  විශාල  නෞකා (ULCC)  සහ  සුවිශාල  නෞකා  (VLCC)  සමග  කටයුතු  කරමින්  මෙහෙයුම්  කටයුතු  ආරම්භ  කළ පළමු  සම්පූර්ණ  වර්ෂය  වූ  2015  වසරේදී  බහාලුම් මිලියන  1.561  හැසිරවූ  අතර  එහිදී  පර්යන්තය හැසිරවූ  සමස්ත  බහාලුම් වලින්  67%  ක්ම  මෙම  නෞකා  කාණ්ඩයට  අයත්වීම  කැපී  පෙනේ. මෙවැනි සුවිශාල නෞකා කොළඹ වරායට පැමිණීම වැඩිවීම හමුවේ අනිකුත් බහාලුම් පර්යන්ත වලට   එය   ධනාත්මකව   බලපාන   අතර   දිනෙන්   දිනම   කොළඹ   ප‍්‍රධාන   ප‍්‍රති   අපනයන මධ්‍යස්ථානයක් බවට පත්වීමට මෙමගින් සහයෝගය හිමිවේ.

පසුගිය  වසර  දෙක  තුළදී  කොළඹ  ජාත්‍යන්තර  බහාලුම්  පර්යන්තය  විසින්  ආසියානු-යුරෝපීය නාවික  මාර්ගයන්හි  ගමන්  කරන  සුවිශාල  නෞකා  වලින්  සමහරක්  කොළඹ  වරායට  ගෙන්වාගැනීමට  සමත්විය.  මේවා  අතර  බහාලුම්  19,224  ක්  රැගෙන  යා  හැකි  ලෝකයේ  දැවැන්තම බහාලුම්  නෞකාව  ලෙසින්  සැලකෙන MSC Maya,  බහාලුම්  18,300  ක්  රැගෙන  යා  හැකි  MV Mogens Maersk,  බහාලුම්  16,652  ක්  රැගෙන  හැකි  MSC New York,  බහාලූම්  16,020  ක් රැගෙන  යා  හැකි  CMA CGM Marco Polo,  බහාලූම්  14,000  කට  වැඩි  ප‍්‍රමාණයක්  රැගෙන  යා හැකි YML YM Wondrous, Edith Maersk සහ EMC Thalassa Hellas  යන  නෞකා  ඇත.  මීට අමතරව,  මෙම  නෞකාවල  සහෝදර  නෞකාවන්  මේ  වනවිට  කොළඹ  ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) වෙත නිරන්තරයෙන් පැමිණෙමින් තිබේ.

ප‍්‍රමාණාත්මක  වශයෙන්  කොළඹ  වරායේ  වර්ධනය  සඳහා  දායකත්වය  ලබාදීමට  අමතරව  සේවා නවෝත්පාදනය සහ පරිසර හිතකාමී වැඩසටහන් සඳහාද CICT  කොළඹ වරායට කැපී පෙනෙන දායකත්වයක්  ලබාදී  ඇත.  CICT  සමාගම  විසින්  කොළඹ  වරායේ  ‘හරිත  වරාය’  සංකල්පය  ප‍්‍රමුඛ කරගත්  වැඩසටහනක්  සඳහා  නායකත්වය  ලබාදීම  වෙනුවෙන්  ඩොලර්  මිලියන  10  ක  මුදලක් 2016  වසරේ  මුල්  කාලයේදී  ආයෝජනය  කරන  ලදී.  මේ  යටතේ,  ඞීසල්  වලින්    මෙහෙයුම් කටයුතු කරන රබර් ටයර් යෙදූ සමාගමේ ගැන්ටි‍්‍ර දොඹකර සියල්ල   විද්‍යුත්  බලයෙන් ක‍්‍රියාත්මක කරන  රබර්  ටයර්  යෙදූ ගැන්ටි‍්‍ර  දොඹකර  බවට  පරිවර්තනය  කිරීමේ  වැඩසටහනක්  ආරම්භ  කර තිබේ.

කොළඹ  වරායට  පළමුවෙන්ම  ඉලෙක්ට්‍රොනික  යාත‍්‍රා  ලේඛන (electronic boat notes)  හඳුන්වා දුන්නේ  CICT   විසින්  වන  අතර  මේ  තුළින්  අපනයන  ලේඛන  සඳහා  යන  කඩදාසි  ප‍්‍රමාණය සැලකිය   යුතු   ලෙස   අඩුවීම   සිදුවේ.   මීට   අමතරව,   පර්යන්තයට   ඇතුළුවල   බහාලූම්   පිළිබඳ තොරතුරු  ඇතුළත්  ජංගම  දුරකතන  ඇප්  සේවාවක්  හඳුන්වාදුන්  කොළඹ  වරායේ  පළමු  බහාලුම් පර්යන්තය වන්නේද CICT  පර්යන්තයයි .

2016  වසර  අවසානයේදී  කොළඹ  ජාත්‍යන්තර  බහාලුම්  පර්යන්තය CICT කීර්තිමත්  ලොයිඞ්ස් ලයිස්තුවේ (Lloyd’s List)  මැදපෙරදිග  සහ  ඉන්දියානු  මහද්වීපික  සම්මාන  ප‍්‍රදානයේදී  ‘වරාය මෙහෙයුම්’අංශය  යටතේ  සම්මානයට  පාත‍්‍ර  විය.  2016  ලොයිඞ්ස්  ගෝලීය  සම්මාන  යටතේ වසරේ   වරාය   මෙහෙයුම්කරුවා   බවට  පත්ව   තිබෙන්නේ  CICT   මව්   සමාගම   වන  චයිනා මර්චන්ට්ස්  පෝර්ට්  හෝල්ඩින්ග්ස්  වන  අතර  ඒ  සඳහා CICT   පර්යන්තයෙහි  කාර්යයසාධනය  එක් ප‍්‍රධාන සාධකයක් විය .