ඩෙංගු උවදුරෙන් තොර වරායක්.... ශ්‍රී ලංකා වරාය අධිකාරිය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරයි.

ඩෙංගු උවදුරෙන් තොර වරායක් යන සංකල්පය යටතේ සෞඛ්‍ය වැඩසටහන් මාලවක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආරම්භ කරයි. එහි සමාරම්භක වැඩසටහන අද පැවැත්වුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහළු පර්යන්තයේ සේවක සේවිකාවන්ගේ මූලිකත්වයෙනි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහළු පර්යන්තය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීම සහ ඩෙංගු උවදුර ගැන සේවක සේවිකාවන් දැනුවත් කිරීම එම වැඩසටහනට අයත් විය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග  මැතිතුමාගේද සහභාගිත්වයෙන් පැවැති එම වැඩසටහනේදී මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීමද සිදු විය. වැඩසටහනට එක් වූ සියලු දෙනාට ස්තූති කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා මහතා පැවසුවේ එදිනෙදා නෞකා මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවන අයුරින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සහාය දුන් සියලුදෙනාම ඇගයීමට ලක් කරන බවයි.

 “අපේම සම්පත් භාවිත කරමින් කිසිදු වියදමක් නොමැතිව අපිට මේ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකි වී තිබෙනවා. ඒ වගේම අපේ නෞකා මෙහෙයුම්ද නිසි පරිදි පත්වාගෙන ගියා. ඒක තමයි වැදගත්. අපේ සේවකයින් වරායේ දියුණුවට දක්වන කැපවීම එයින්ම පේනවා. අපි අපි ගැන සිතුවොත් අපිට මේ වරායේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්...”  මෙහෙයුම් අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා මහතා පැවසීය‍.

ඩෙංගු උවදුර  මර්දනය කිරීම සඳහා මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියද මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ ඊට සමගාමී ලෙසිනි. වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා මේ වනවිට විශේෂ කමිටුවක්ද පත්කර තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී දර්ශනී රාජකාන්තන් මහත්මිය පැවසුවේ මාසිකව රැස්වී ඩෙංගුවලින් තොර වරායක් ගොඩනැගීම උදෙසා විවිධ උපාය මාර්ග සහ සැලැසුම් සැකසීමට අපේක්ෂා කරන බවයි.

“ පසුගිය කාලේ අපිට වර්ෂාවට මුහුණ දෙන්න සිදුවුණා. ඒ නිසා ඩෙංගු බෝවන ප්‍රමාණය වැඩිවී තිබෙනවා. එම නිසා පරිසරය ගැන නිරන්තරව අවධානයෙන් සිටීම වැදගත්. වතුර රැඳෙන ස්ථාන පිරිසිදු කර, වරාය පරිශ්‍රයේ ඇති ටයර් වැනි ද්‍රව්‍ය නිසි ලෙස අසුරා තැබීමෙන් මදුරුවන් බෝ වීම අවම කර ගන්න පුළුවන්. වඩාත් වැදගත් වන්නේ තමන් ගැන සිතා තමන් සිටින අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමයි. එයින් තමන් වගේම අනිත් අයත් ආරක්ෂා වනවා...” යැයිද ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි දර්ශනී රාජකාන්තන් මහත්මිය පැවසීය.