කොළඹ වරායට CICT යෙන් අලුත් නැව් සේවාවක්.

Colombo International Container Terminals හෙවත් CICT සමාගම නව නෞකා සේවා සඳහා සිය සේවාව ව්‍යාප්ත කරයි. එම සමාගම පවසන්නේ එය සනිටුහන් කරමින් තායිවානය මුල් කරගනිමින් ක්‍රියාත්මක වන Interasia lines නෞකා සමාගම දැනටමත් කොළඹ වරායේ බහළුම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි. මෙම නව නෞකා සේවාව හේතුවෙන් කොළඹ වරායේ සියලුම බහළුම් පර්යන්තවලට වාසිදායක ප්‍රතිඵල උදාවන බවද එම සමාගම කියා සිටී.

කොළඹ වරායේ ගැඹුරුතම පර්යන්තය වන්නේ CICT සමාගමට අයත් පර්යන්තයි. එම පර්යන්තය ඉලක්ක කර ස්වකීය නෞකා සේවා කොළඹ වරායට ගෙන ඒම Interasia lines නෞකා සමාගමේ අපේක්ෂාව වේ. එම නෞකා සේවාව කොළඹ වරාය මුල්කරගනිමින් මෙහෙයුම් ආරම්භ කළ පළමු අවස්ථාවද මෙයයි. ඉදිරියේදී සෑම සතියකම තම සමාගමේ නෞකා කොළඹ වරායට ගෙන ඒමටද  Interasia lines නෞකා සේවා සමාගම අපේක්ෂා කරයි.

Interasia lines නෞකා සමාගම දකුණු ආසියාවේ ප්‍රමුඛ සමාගමකි. කොළඹ වරාය කේන්ද්‍ර කරගනිමින් දකුණු ආසියාවට සිය භාණ්ඩ ප්‍රවාහනය හා බෙදාහැරීම එම නෞකා සමාගමේ මීළඟ ඉලක්කයි. මූලික වශයෙන්ම කොළඹ වරායේ සිට බංගලාදේශය සහ මියන්මාරය දක්වා එම නෞකා සේවා ක්‍රියාත්මක වනු ඇත. CICT සමාගම පවසන්නේ ජාත්‍යන්තර වෙළඳපොළ කොළඹ වරාය වෙත ආකර්ෂණය කිරීමේ හැකියාවද මෙම නව නෞකා සේවාව හේතුවෙන් උදාවනු ඇති බවයි. එමෙන්ම මෙවැනි නව නෞකා සේවා සඳහා පහසුකම් සැපයීමෙන් තමන්ට නාවික ක්ෂේත්‍රෙයේ ප්‍රමුඛයා වීමේ අවස්ථාව උදාවන බවද CICT සමාගම කියා සිටී. නව නෞකා සේවාවේ පළමු නෞකාව පසුගිය මාර්තු 30 වැනිදා CICT පර්යන්තයට පැමිණි අතර ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක්ද එම පර්යන්තයේදී පැවැත්විණ.