රෝහින්‍ග්‍යා සරණාගතයින් ගැන ආණ්ඩුවේ මතය

මෙරට ඇති කර තිබෙන ස්ථාවර තත්ත්වය අස්ථාවර කිරීමට කිසිඳු අන්තවාදී කොටසකට ඉඩ නොදෙන බව වරාය සහ නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ (03) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී රෝහින්ග්‍යා සරණාගත ගැටලුව පිළිබඳව රජයේ මතය ප්‍ර‍කාශ කිරීමට පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සමරසිංහ මහතා, “ රෝහින්ග්‍යා ගැන සමහරු පරස්පර විරෝධී අර්ථකථන දෙනවා. සමාජයට මේ අදහස් ගියාම ජනතාව අනවශ්‍ය විදියට කුපිත වෙනවා. සමහරු පටු දේශපාලන ප්‍රයෝජන ගන්න මේ වගේ අදහස් ප්‍ර‍චාරය කරනවා.

සරණාගතයින් මුලින්ම ආවේ 2008.03.03. ශ්‍රී ලංකාවේ නාවික හමුදාව මුලතිව් වලදී බෝට්ටුවකින් යනකොට ශ්‍රී ලංකාවට ගෙන ආවා. ඒ බංගලාදේශයෙන් ආපු පිරිසක්. අපි නීතිමය පැත්ත ගත්තොත් 1951 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්මුතියක් නිකුත් කළා. දකුණු ආසියාවේ බොහෝ රටවල් ඒක භාර අරගෙන නැහැ. ඒ සම්මුතිය පදනම් කරගෙන ජාත්‍යන්තර නීතිය යටතේ අපිට වගකීම දරන්න බැහැ. ඕනෑම රටක් මානුෂීය පැත්ත බලලා කටයුතු කරන්න වෙනවා. උදාහරණයක් විදියට ඉන්දියාව ඒ සම්මුතිය භාර නොගත්තාට රෝගින්ග්‍යා අයට ඉන්න වෙනම කඳවුරක් හදලා තියෙනවා. ඒ මානුෂීය පැත්ත සලකලා.

2013 වසරේදී සරණාගතයන් ආවා ශ්‍රී ලංකාවට. ඒ අයගෙන් 138 ක් බංගලාදේශ ජාතිකයන්. 32 ක් මියන්මාර ජාතිකයන්. එයාලට  ස්ථිර පදිංචිය දෙන ඇමරිකාව හා කැනඩාව ඉදිරිපත් වුණා. දැන් ඇවිත් ඉන්න 30 දෙනා අවේ දකුණු ඉන්දියාවෙන්. අපේ මුහුදු සීමාවට ඇතුළු වෙනකොට නාවික හමුදාව එක්සත්  ජාතීන්ගේ සරණාගත සංවිධානයට භාර දීලා තියෙනවා. ඊට පස්සේ රජයක් විදියට අපිට වගකීමක් නැහැ. ඊට පස්සේ හැමදේම කරන්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානය. එයාලා ඒ සම්මුතිය අනුව වහාම මේ සරණාගතයෝ තුන්වැනි රටකට ගෙනියන්න ඕන.

තාවකාලිකය රජයක්  විදියට ඒ සරණාගතයන්ට ඉන්න දුන්නාට එක්සත් ජාතීන්ගේ සරණාගතයන්ගේ සංවිධානය 2005 ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව එයාලා දන්නවා ස්ථිරවම මේ රටවල ඉන්න දෙන්නේ නැහැ වෙනත් රටකට මේ අයව අවසානයේ ගෙනියන්න වෙනවා කියන එක. එතකන් අපි ගනුදෙනු කරනවා. මෙහෙත් තියෙනවා එක්සත් ජාතීන්ගේ සරණාගතයන්ගේ සංවිධාන කාර්යාලයක්.

යුද්ධය කාලේ අපි ඒ අයත් එක්ක වැඩ කළා. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ගුටරේස් මහත්තයා කලින් එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානයේ ප්‍ර‍ධානියා විදියටයි හිටියේ. එතැනින් කෙලින්ම මහ ලේකම්වරයා විදියට තේරුණා. මේ සංවිධානය ලෝකේ පුරවැසියන් වෙනුවෙන් ඉන්න සංවිධානයක්.

සමහර වෙබ් අඩවි වල වොයිස් කට් දෙනවා. මේ රෝගින්ග්‍යා පිරිස අන්තවාදීන් කියලා. මේ බෝට්ටුව ඇවිත් තියෙන්නේ දකුණු ඉන්දියාවෙන්. ඒක මම පෞද්ගලිකව සොයලා බැලුවා. මේ සමහරු හදන්නේ නැති ප්‍ර‍ශ්නයක්  ඇති කරලා විශාල ප්‍ර‍ශ්නයක් ඇති කරන්න. ජාත්‍යන්තර නීතිය පැත්තෙන් අපට වගකීමක් තියෙනවා අපේ මුහුදු සීමාවට සරණාගතයන් ආවම එයාලට හානියක් නෙවෙන්න භාරදෙන්න වගේම තාවකාලිකව ඉන්න ඉඩදෙන්න. මේක මේ 2008 ඉඳලා වෙච්ච දෙයක්. අපේ රජය කාලේ අවේ සරණාගතයන් 30 යි.  කලින් රජය කාලේ සරණාගයන් 728 ක් ඇවිල්ලා.

රෝහින්ග්‍යා සිද්ධියට මුල්වෙච්ච කීපදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. නීති කවුරු කඩ කළත් දඞුවම් ලැබෙනවා කියන එක අපි පෙන්වලා තියෙනවා. මේ ස්ථාවර තත්ත්වය කිසිම අන්තවාදී කොටසකට අස්ථාවර කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක අපි දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙනුත් ඔප්පු කරලා තියෙනවා.  ”