වසර දහයකට පසුව පිරිමි වොලිබෝල් සාග් රිදී පදක්කම දිනා ගැනීමට හැකි වීම  සතුටට කරුණක් - ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක ජනිත සුරත්

වසර දහයකට පසුව පිරිමි වොලිබෝල් සාග් රිදී පදක්කම දිනා ගැනීමට හැකි වීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක ජනිත සුරත් පවසයි. නායකයකු ලෙස ස්වකීය දක්ෂතා ප්‍රගුණ කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා සමාජයෙන් ලැබුණු පන්නරය ඉමහත් බවද ඔහු කියා සිටී.

 

“මම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන්නේ 2008 වර්ෂයේ සිට. අපේ වරාය කණ්ඩායම මේ දක්වා පැවති ජාතික වොලිබෝල් තරඟාවලි මාලාවේදී පිට පිට තුන්වරක් ශූරතාවය දිනා ගත්තා. එයින් ලැබුණු පන්නරය සාග් තරගාවලියේදී නායකයකු ලෙස ඉදිරියට යන්නට මට ලොකු පිටිවහලක් වුණා. වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා වගේම වරාය සභාපති ධම්මික රණතුංග  මැතිතුමාත් අපි ගැන නිරන්තයෙන්ම සොයා බලනවා. වරායේ අපි සේවය කළාට පසුගිය කාලයේදී අපේ ක්‍රීඩකයින්ට නිසි පිළිගැනීමක් තිබුණේ නැහැ. දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. අපගේ වෘත්තීය ගරුත්වය වගේම ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නත් දැන් විශාල ශක්තියක් වරාය අධිකාරියෙන් ලැබෙනවා. ඒ වගේම පසුගිය දා වරාය අමාත්‍යාංශයේ තිබුණා ක්‍රීඩා කුසලතා ඇගයීමේ උත්සවයක්. මගේ මේ ජීවිතයේ පළමුවැනි වතාවට තමයි එවැනි ඇගයීම් උත්සවයකට මම සහභාගි වුණේ. ඒකෙන්ම එදා සහ අද අතර වෙනස ඔබට තේරෙනවා ඇති....” යි ජනිත් සුරත් පැවසුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියත් වොලිබෝල් ක්‍රීඩාවත් අතර ඇති සබඳියාවද සිහිපත් කරමිනි.

 

මීගමුව තිඹිරිගස්කටුව ගමේ උපන් ජනිත සුරත් මූලික අධ්‍යාපනය ලැබුවේ මීගමුව දුටුගැමුණු මහා විද්‍යාලයේදී. පසුව උසස් අධ්‍යාපනය සඳහා ශාන්ත මරියා මහා විද්‍යාලයට ඇතුළත් විය. වයස අවුරුදු 18දී වොලිබෝල් ක්‍රීඩාවට යොමු වූ ජනිත සුරත් ජාතික වොලිබෝල් කණ්ඩායමට තේරී පත් වන්නේ 2007 වර්ෂයේදීයි. 2014 වසරේදී ඔහු ජාතික කණ්ඩායමේ නායකත්වයට පත් විය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වොලිබෝල් කණ්ඩායමේ ද නායකයා වෙයි.

 

“පිරිමි වොලිබෝල් ක්‍රීඩාවෙන් අපි සාග් රිදී පදක්කම ලබා ගත්තේ මීට අවුරුදු 10කට කලින්. අපි මෙවර තරගාවලියට ගියෙත් කොහොම හරි මෙවර එම පදක්කම නැවත දිනා ගන්නවා කියන අධිෂ්ඨානය ඇතිව. අපි සාග් යන්න ජාතික කණ්ඩායම ලෙස පුහුණු වුණේ මාස තුනක් වගේ කාලයක්. නමුත් ඊට වඩා හොඳින් පුහුණු වුණානම් මීට වඩා හොඳ ප්‍රතිඵල ගන්න තිබුණා. ඒ නිසා ආසියාතික තරගාවලියට දැන්ම ඉදලා පුහුණුවීම් ආරම්භ කළොත් හොදයි කියලා මම හිතනවා....” යැයිද ජනිත් සුරත් පවසන්නේ ස්වකීය ජයග්‍රහණය සඳහා උපකාර කළ සියලු දෙනාටම ස්තුතිය පුද කරමිනි.