වරාය අධිකාරියේ කිසිවෙකුට හොරකම් කරන්න දෙන්නේ නෑ - අමාත්‍ය අර්ජුන රණතුංග.

පසුගිය කාලේ හොරකම් සිදු කළ කිසිවෙකුට වරාය අධිකාරිය තුළ කිසිදු හොරකමක් කිරීමට ඉඩ නොතබන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එමෙන්ම මේ වනවිට මාධ්‍ය හරහා විවිධ මඩ ප්‍රචාර ඉදිරිපත් කරමින් මහ ජනතාව නොමග යැවීම සඳහා දරණ උත්සාහය තමා හෙළා දකින බවද එතුමා එහිදී අවධාරණය කළේය. එතුමා මේ බව පැවසූයේ අද (27) පෙරවරුවේ වරාය අධිකාරියේ, මහපොළ අභ්‍යාස ආයතනයේ පැවති වරාය සේවකයින්ගේ සේවක කමිටු රැස්වීම අමතමිනි.

 

“වරාය අධිකාරියේ තමුන්නාන්සේලා එක එක්එකෙනාගේ අතකොළු වෙන්න එපා. වරාය අධිකාරියේ වරාය ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා.  අපි තමුනාන්සේලාට  අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. තමුන්නාන්සේලාගේ කිසිදෙයක් කප්පාදු කරන්න නෙවෙයි මම මෙතනට ආවේ. හැබැයි හොරකම් කරන්න දෙන්නත් නෙවෙයි. හොරකම් කරපු මිනිස්සුන්ට හොරකම් කරගෙන ඉස්සරහට යන්න දෙන්නත් නෙවෙයි. මට සල්ලි හම්බ කර ගන්නත් නෙවෙයි. මම අවුරුදු 20ක් ක්‍රිකට් ගැහුවා  අපිට විශාල මුදල් ලැබුණේ නැහැ. නමුත් අපි ලැබිච්ච මුදල් ආයෝජනය කළා. මම පෞද්ගලික ආයතන තියෙන කෙනෙක්. මට කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්. මට පිටරටක ගියත් හොඳින් ජීවත් වෙන්න පුළුවන්. නමුත් මට රට ගැන කැක්කුමක් තියෙනවා. ඒ නිසයි පසුගිය කාලේ මගේ බිරිඳ සහ දරුවෝ මං පිටරට යැව්වේ. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි මට මොනව හරි වුණොත් මගේ දරුවන්ට තමන්ගේ අම්මා හරි ඉන්න නිසා. සභාපතිතුමා කිව්වා වගේ මානසික ලෙඩ්ඩුත් ඉන්නවා. මට තියෙන ලොකුම කණගාටුව මට මඩ ගැහුවට කමක් නැහැ. සභාපතිතුමාට මඩ ගැහුවටත් කමක් නැහැ. මගේ අලුත්ම මස්සිනා වෙලා ඉන්න උප සභාපතිතුමාට මඩ ගැහුවත් කමක් නැහැ. හැබැයි මගේ අම්මට මඩ ගහපු මිනිස්සු ඉන්නවා. තමුන්නාන්සේලා දන්නවා මගේ තාත්තා මේ වරායේ මොනවද කළේ කියලා. එතුමා දේශපාලනය තුළීන් මොනවද කළේ කියලා. තාත්තා ජීවත් වුණේ කොහොමද කියලා ගම්පහ මිනිස්සු දන්නවා. එහෙම කරපු කෙනෙක්ගේ බිරිඳ, ඒ කියන්නේ මගේ අම්මට ලක්ෂ දෙකක් දෙනවා කියලා කියනවා.  අනිත් කියන දේවල් කිසිදෙයක් මට ගාණක්වත් නැහැ. දැන් බලන්න ආයුර්වේද මධ්‍යස්ථානය හැදුවම කිව්වා මසාජ් සෙන්ටර් එකක් දාලා කියලා. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඒත් මං ඒ හැමදේකටම අනුකම්පා කළා. ඊයේ පෙරේදත් වෙබ් අඩවියක පළ වුණා මගේ අම්මාට ලක්ෂ දෙකක් දෙනවා කියලා. නමුත් පැය 24 ක් ඇතුළත සමාව ඉල්ලලා ලිපියක් ලැබුණා. වැරදි කරන අයට දඞුවම් ලැබෙනවා අනිවාර්යයෙන්ම. මමත් බෞද්ධයෙක්. මම දෙවියන් විශ්වාස කරනවා. මේ නිසයි මම කියන්නේ මම කිසිම කෙනෙකුට මේ ආයතනය ඇතුළේ හොරකම් කරන්න ඉඩ දෙන්නේ නැහැ. හොරකම් වලින් හම්බ කරපු අයට ඒවා කරන්න දෙන්නෙත් නැහැ. පසුගිය කාලේ මාධ්‍යට මේ ආයතන වලින් ගෙවලා තියෙනවා. මාධ්‍යකරුවන්ට පඩි ගෙවලා තියෙනවා. අපි තව ටික දවසකින් ඒවා එළියට දානවා.....”  යැයිද අර්ජුන රණතුංග මැතිතුමා එහිදී පැවසීය.