Sea Asia ජාත්‍යන්තර නාවික සමුළුවට ඇමති අර්ජුන.

සිංගප්පූරුවේ පැවැත්වෙන Sea Asia නාවික සමුළුවට (Sea Asia Maritime Conference) වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්වේ. Sands Expo & Convention Centre Marina Bay Sandsහි පැවැති එම ජාත්‍යන්තර සමුළුවේදී අර්ජුන රණතුංග අමාත්‍යතුමා විශේෂ දේශනයක්ද පැවැත්වීය. එහිදී අමාත්‍යතුමා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ වරාය පද්ධතිය ජාත්‍යන්තර බහළු වෙළඳාමේ සුවිශේෂි මධ්‍යස්ථානයක් වී ඇති බවයි.

ජාත්‍යන්තර නාවික වෙළඳාමේදී ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටා තිබේ. නැගෙනහිර ආසියානු කලාපය සහ බටහිර ආසියානු කලාපය යා වන්නේද ශ්‍රී ලංකාවෙනි. මේ නිසා ලෝකයේ ශක්තිමත් වාණිජ සබඳතා ගොඩ නගා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුය. එමෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳාමට ගෙනයෑමේ කේන්ද්‍ර‍ස්ථානය වන්නේද සිංගප්පූරුවයි. 2015 වසරේදී සිංගප්පූරුවේ විශාලම වෙළඳ පාර්ශ්වකරුවන් අතරින් ශ්‍රී ලංකාවට 39 වැනි ස්ථානයද හිමි විය. ඒ  සිංගප්පූරු ඩොලර් බිලියන 2.05 ක ව්‍යාපාර සිදු කරමිනි.  Sea Asia නාවික සමුළුව එම ව්‍යපාර තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව උදාකරන්නක් වේ.  සිංගප්පූරුවේ පැවැති Sea Asia නාවික සමුළුව මෙවර හයවැනි වරට පැවැත්විණ. චීනය, ඩෙන්මාර්කය, ග්‍රීසිය, ජපානය, කොරියාව, නෙදර්ලන්තය, නෝර්වේ, පැනමා, සිංගප්පූරුව, එක්සත් රාජධානිය ආදී රටවල් 10 එක්ව මෙම සමුළුව සංවිධානය කෙරේ. සමුළුවට සමගාමීව නාවික ප්‍ර‍දර්ශනයක්ද පැවැත්වෙන අතර ඒ සඳහා දේශීය සහ විදේශීය ව්‍යාපාර නියෝජිතයින් රැසක් සහභාගී වනු ඇත.