හම්බන්තොට වරායෙන් වියදම් කළ මුදලට සාපේක්ෂව ලාභ ලබා ගැනීම අසීරු කරුණක් - ඇමති අර්ජුන පවසයි

හම්බන්තොට වරායෙන් වියදම් කළ මුදලට සාපේක්ෂව ලාභ ලබා ගැනීම අසීරු කරුණක් බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා අවධාරණය කරයි. එතුමා මේ බව කියා සිටියේ අද (03) පෙරවරුවේ හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. එම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු නිසා නිවාස අහිමි වීමේ අවදානමකට ලක්ව සිටින රණවිරු පවුල්වල සාමාජිකයින්ද හමු විය. ඔවුන්ගේ ගැටළුවලට සවන් දුන් අර්ජුන රණතුංග අමාත්‍යතුමා අවධාරණය කළේ පසුගිය ආණ්ඩුව මෙන් නොව වත්මන් ආණ්ඩුව මෙම ප්‍රශ්නය කෙරෙහි වඩාත් සංවේදීව කටයුතු කරන බවයි. 

“හම්බන්තොට වරාය සඳහා වියදම් කළ මුදලට ලාභ ලබා ගැනීමට ඉතාම අසීරු කරුණක්. ඒ නිසා තමයි අද ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඇති වෙලා තියෙන්නේ. ඉදිරියේදී මේ ව්‍යාපෘතියේ තුන්වැනි අදියරට අපි යනවා නම් ආයෝජකයින් පැමිණිය යුතුයි. දැනටමත් එවැනි අයෝජකයින් සමග අපි සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන්ගෙන් ලබා ගන්නා මුදල්වලින් අපි පළමුවෙන්ම කරන්නේ වරාය සංවර්ධන ව්‍යාපෘති නිසා ගෙවල් අහිමි වූවන්ට සහන සැලසීම. එයින් පසුව තමයි අනෙක් කටයුතු කරන්නේ. විශේෂයෙන්ම සමහර නිවාස තියෙනවා ගොඩාක්ම අලාභ හානියට පත් වුණු. ඒ නිවාසවල සිටින අයට මූලිකත්වය ලබා දිය යුතුයි. දැනටමත් අපි ඒ අයට ඉඩම් ලබා දී තිබෙනවා. නැතිනම් ඉඩම් පෙන්වලා තියෙනවා. ඉදිරි කාලයේදී ඒ ඉඩම් ආශ්‍රිතව යටිතල පහසුකම් දියුණු කිරීමටද පියවර ගන්නවා.....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

අද සිදු කළ නිරීක්ෂණ චාරිකාවේදී  අඩි සියය මාර්ගයේ සම්බන්ධ වන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම්ද අර්ජුන රණතුංග මැතිතුමාගේ අවධානයට යොමු විය. එම පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව නතර වී ඇත්තේද එකී ඉදිකිරීම් හේතුවෙන් පවුල් කිහිපයක් නිවාස අහිමි වීමේ අවදානමට ලක්ව සිටින නිසාවෙනි. එම ගැටළු විසඳා පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් අවසන් කරන ලෙසටද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා මෙහිදී ව්‍යාපෘති නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඉන් අනතුරුව එතුමාගේ නිරීක්ෂණයට ලක් වූයේ හම්බන්තොට වරාය දූපතයි.

අක්කර සියයක විශාලත්වයකින් යුත් වරාය දූපත කෘත්‍රීම නිර්මාණය කරන්නකි. වරාය පරිශ්‍රයේ ඉදිකරන එම දූපතෙහි සංචාරක කලාපයක් ඇති කිරීම සඳහා පසුගිය කාලයේ ආයෝජකයින් පැමිණියත් ඒ සඳහා ඔවුනට පසුගිය ආණ්ඩුවෙන් අවස්ථාවක් ලැබී නැත. අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා වැඩිදුරත් කියා සිටියේ වරාය දූපතෙහි සංචාරක කලාපයක් නිර්මාණය කිරීම සඳහා දැනටමත් ආයෝජකයින් සමග සාකච්ඡා කරන බවයි. මීට අමතරව වරාය පරිශ්‍රෙයේ ඉන්ධන ගබඩා පවත්වාගෙන යාමේ අවස්ථාව වැඩිම ලංසුව ඉදිරිපත් කරන ආයෝජකයින්ට සාධාරණ ලෙස ලබා දීමට කටයුතු කරන බවද අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. එතුමා වැඩිදුරටත් කියා සිටියේ “කැමැති කැමති අයට මෙය ලබා දෙන්නේ නැහැ. නමුත් ඕන කෙනෙකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි. ඔවුන් අතරින් වැඩිම අත්දැකීම් තියෙන, වැඩිම ලංසුව ඉදිරිපත් කරන කෙනාට එම අවස්ථාව ලබා දෙනවා.... යනුවෙනි. මෙම නිරීක්ෂණ චාරිකාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.