කොළඹ වරායට අයත් CICT සමාගම සිංගප්පූරුවේ නාවික සමුළුවට සහභාගී වේ.

කොළඹ වරායට අයත් CICT සමාගම මෙවර ආසියානු පර්යන්ත මෙහෙයුම් සමුළුවට(TOC) සහභාගී විය. මෙම සමුළුව පසුගිය මස 20-21 වන දිනයන්හි සිංගප්පූරුවේ පැවැත්විණි. එම සමුළුව සඳහා CICT සමාගමේ ප්‍රධාන වාණිජ සහ වෙළඳ කලමනාකරු තිස්ස වික්‍රමසිංහ මහතා සහභාගී විය.  “මහා පරිමාණ නැව් සමඟ සැපයුම් දාමයේ ක්‍රියාකාරීත්වය ඉහළ දැමීම” යන තේමාව යටතේ සිය ඉදිරිපත් කිරීම කළ තිස්ස වික්‍රමසිංහ මහතා පැවසුවේ ගැඹුරු බහලුම් පර්යන්තයක පහසුකම් හේතුවෙන් ජාත්‍යන්තර නාවික වෙළඳපොළෙහි පවතින තරඟයට මුහුණදීමට තම සමාගමට හැකිවී තිබෙන බවයි. “ගැඹුරු මුහුදු බහලුම් පර්යන්තයක පහසුකම සමග කොළඹ වරායෙහි තරඟකාරීත්වය තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ සමඟ කොළඹ වරාය සිංගප්පූරු නාවික සතිය නියෝජනය කිරීම සහ ඒ සමග ක්‍රියාත්මක වන උත්සව සඳහා සහභාගී වීමට ලැබීම ඉතා වැදගත් අවස්ථාවක්. ඒ හරහා ජත්‍යන්තර වශයෙන් නාවික කටයුතු කෙරෙහි ආකර්ෂණය දිනා ගැනීමට හැකිවී තිබෙනවා... ” යැයිද එතුමා එහිදී කියා සිටියේය.

 2013 වසරේදී සිය වාණිජ ක්‍රියාකාරීත්වය ඇරඹූ CICT සමාගම 2015 වසර වනවිට සමස්ත බහලුම් මිලියන 1.561ක ප්‍රමාණයක් මෙහෙයවා ඇති අතර ඒ සඳහා විශාල බහලුම් ගෙනයාම් (Ultra Large Container Carrier) සහ අති විශාල බහලුම් ගෙනයාම්(Very Large Container Carrier) 67% කින් දායකත්වය ලබා දී තිබේ. ගෝලීය වශයෙන් ආයෝජනය සහ ක්‍රියාකාරී මෙහෙයුමේ දෙවන ස්ථානයේ පසුවන CMHI සමාගමට අයත් පර්යන්ත 72 ක් සමඟ CICT සමාගම මේ වනවිට සම්බන්ධ වී කටයුතු කරයි.