උත්සව සඳහා කෝටි ගණනින් වරායේ මුදල් වියදම් කිරීමේ යුගය අපි අවසන් කළා - ඇමති අර්ජුන

විවිධ උත්සව සඳහා කෝටි ගණනින් වරායේ මුදල් වියදම් කිරීමේ යුගය අවසන් කිරීමට දැන් හැකිවී  ඇතැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූවේ රුවනි ඩයස් බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ තෙල් බැංකු ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂධූරයේ වැඩභාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි. හම්බන්තොට වරායේ පළමු අදියර විවෘත කිරීම සඳහා පසුගිය ආණ්ඩුව කළ වියදම් සම්බන්ධයෙන් මාධ්‍ය වල පළවූ වාර්තා  ගැන මෙහිදී වැඩිදුරටත් ප්‍රතිචාර දැක්වූ අර්ජුන රණතුංග අමාත්‍යතුමා අවධාරණය කළේ එකී වියදම් ගැන සවිස්තර වාර්තාවක් දැන් සකසමින් පවතින බවයි. 

“හම්බන්තොට වරායේ පළමු අදියර විවෘත  කිරීමේ උත්සවය ශ්‍රී ලංකා වරාය අධීකාරිය මුදල් වියදම් කරලා තියෙන්නේ එක් අංශයකින් නෙවෙයි. එක එක අංශවලින් මුදලි වියදම් කරලා තියෙන්නේ. අපි දැන් ඒ සම්පූර්ණ මුදල ගැනත් හොයාගෙන යනවා. ඒ වගේම අපි දැන් තීරණය කරලා තියෙනවා එවැනි උත්සව අවශ්‍ය නැහැ කියලා. උත්සවයක් තියෙනවා නම් එහි ප්‍රතිලාභ ආයතනයට තිබිය යුතුමයි..........” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. 

හම්බන්තොට වරායේ පළමු අධියර විවෘත කිරීමේ උත්සවයේ නර්තනාංග සඳහා පමණක්  රුපියල් ලක්ෂ  150 ක් වැයකළ බවට දැන් තොරතුරු හෙළිවෙමින් පවතී. එම උත්සවයේ වෙනත් වියදම්ද ඉහළ අගයක් ගනී. ගරු වරාය සහ  නාවික අමාත්‍ය  අර්ජුන රණතුංග මැතිතුමා පැවසූවේ එවැනි වියදම් ගැන වරායේ දූෂණ සහ වංචා සෙවීමට පත්කළ, නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ද විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. එදා කෝටි ගණන් වැයකර පැවැත්වූ උත්සව දැන් කිසිඳු බාහිර වියදමකින් තොරව, එහෙත් අභිමානවත් ලෙස පැවැත්වීමට තමන්ට හැකිවී ඇතැයිද අර්ජුන රණතුංග  මැතිතුමා අවධාරණය කළේය. 

“පසුගිය ආණ්ඩු සමයේ තිබුණේ උත්සව උණක්. මොනවා හරි දෙයක් විවෘත කළොත් විශාල මුදලක් වියදම් කරලා ලොකු උත්සවයක්  ගත්තා. නමුත් මේ උත්සව යොදාගත්තේ එක් එක් පුද්ගලයින්ගේ ප්‍රතිරෑප ගොඩනඟන්න. රටවත් ආයතනයවත් ප්‍රවර්ධනය කරන්න නෙවෙයි. හොඳම උදාහරණය හම්බන්තොට වරාය. මේ හම්බන්තොට වරායේ පළමු අදියර විවෘත කිරීම සඳහා පැවැත්වූ උත්සවයට විශාල මුදලක් වියදම් කළබව දැන් හෙළිවෙනවා. ඒක කෝටි ගාණක වියදමක්. නමුත් වියදම් කළ මුදලට සාපේක්ෂව හම්බන්තොට වරායට ලැබුණු ප්‍රයෝජනයක්  නැහැ. මේ මුදල යොදාගෙන එහි සේවක සේවිකාවන්ට නවාතැන් පහසුකම් සඳහා ගොඩනැගිල්ලක් හදන්න තිබුණා. නැතිනම් හම්බන්තොට වරාය නිසා ඉඩම් අහිමි වූවන්ගේ සුබසාධනය සඳහා ඒ මුදල් යොදවන්න තිබුණා. රටට ඇත්තටම ආදරේ නම් අපි මුදල් වියදම් කළයුත්තේ අපේ නම් දාලා  බෝඩ් ගහන්න නෙවෙයි. මහජනතාවට ප්‍රයෝජනයක් වන්සේ. අපිට එවැනි ආදර්ශයක් මුළු රටටම ලබාදෙන්නත් හැකිවුණා.  අපි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියර විවෘත කළා. බාහිර වියදමක් නැහැ. හම්බන්තොට වරායේ දෙවැනි අදියර යටතේ වරායට ජලය යොමුකළා. බාහිර  වියදමක් තිබුණේ නැහැ. නමුත් අපි ඉතා  චාම්ව මේ අවස්ථා දෙකම ඉහළින්  සැමරුවා.  ඒ විතරක් නෙවෙයි අපි   සියලුදෙනාටම පණිවුඩයක් දුන්නා නව ආයෝජන අවස්ථා සඳහා පැමි‍ණෙන්න  කියලා.  ඇත්තටම ගත් විට එදා හම්බන්තොට වරායේ පළමු වැනි අදියර විවෘත කිරීමේ උත්සවයට වියදම් කළේ කෝටි ගණනක්. දෙවැනි අදියර විවෘත කරනවිට අපිට වියදමක් නැත්තමට නැතිතරම්........ ” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා මෙහිදී පැවසීය. මෙම අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී ජයම්පති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග යන මහත්වරුන්ද සහභාගී වූහ.