වරාය අපකීර්තියට පත් කිරීමට ඉඩක් නැහැ. එහෙම කරන ඕනම පුද්ගලයෙකුට එරෙහිව දැඩි තීරණ ගන්නවා - ඇමති අර්ජුන පවසයි.

      වරාය අපකීර්තියට පත්කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. වරායේ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට එරෙහිව      නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා කියා සිටී. එතුමා මේ බව පැවසුවේ වරාය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වෙමිනි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහන අද උදෑසන ආරම්භ වූයේ එම අධිකාරියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලදීය. අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකා  වරාය අධිකාරියේ වත්මන් තත්ත්වය පැහැදිලි කළ විශේෂ ලිපියක්ද සේවකයින් අතර බෙදා හැරිණ. අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවිකාවන් වෙත යොමු කළ එම ලිපිය පිටු හතරකින් යුක්ත විය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඇතැම් වෘත්තීය සමිති නායකයින්ගේ සැබෑ තත්ත්වයත් වරාය සුරකීම උදෙසා සේවකයින් විසින් ගත යුතු ඉදිරි පියවර ගැනත් එම ලිපියෙහි ඇතුළත් වේ. එම ලිපිය වරාය සේවකයින් අතර බෙදා හැරීමේ අවස්ථාවට එක් වූ අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ වරායේ හොරකම සහ දූෂණය නතර කිරීමට ජනාධිපතිතුමා හා අගමැතිතුමා තමන්ට භාර දුන් වගකීම කැපවීමෙන් ඉටු කරන බවයි.

“පසුගිය අවුරුදු 10යේ මහින්ද රාජපක්ෂ කාලයේදී වංචා කළ දූෂණය කළ කිහිප දෙනෙක් නැවත වරක් වරාය අපකීර්තියට පත් කිරීමට උත්සාහ කරනවා. අද මේ රටේ ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ප්‍රධාන පක්ෂ දෙක එකතු කර රට ගොඩ නඟන අවස්ථාවක තමයි පසුගියකාලේ හොරකම්වලට උදව් කළ පුද්ගලයෝ නැවත වරක් මේ ප්‍රශ්න ඇති කරන්නේ.  ඔවුන් තිදෙනාටම විවිධ චෝදනා තියෙනවා. අද එක්සත් ජාතික පක්ෂයෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් මව් සංගම්වලින් ආශිර්වාදයක් නැති නිසා මේ අය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව කියලා කණ්ඩායමක් හදා ගෙන විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා කරනවා. මේ ජනතාව ගිහිල්ලා බලන්න ඕන මේගොල්ලෝ ජීවත් වන හැටි. රැකියාවලට දාන්න කියලා මුදල් ගන්නවා. ලොරි දාන්න කියලා මුදල් ගන්නවා. නමුත් අද ඒ සියල්ලම නතර කිරීමට අපි පියවර ගෙන තියෙනවා. මට කොච්චර මඩ ගැහුවත් මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මට ඒවා වදින්නේ නැහැ. නමුත් වරාය අපකීර්තියට පත් කරනවා නම් ඊට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නවා.....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවිකාවන් වරායේ දියුණුව ගැන සංවේදී පිරිසකි. ඔවුන් තවදුරටත් රැවටීමේ අවස්ථාවක් වෘත්තීය සමිති නායකයින් ලෙස පෙනී සිටින පුද්ගලයින්ට නොහැකිය. අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා අවධාරණය කරන්නේ වරාය සුරකීමට වරායේ සේවකයින්ද බුද්ධිමත් සංවාදයකට එක් විය යුතු බවයි. “මෙතන ප්‍රශ්නය තියෙන්නේ සේවකයින්ගේ නෙවෙයි. මේ වරාය පසුගියකාලේ වැඩියෙන්ම හොරකම් කළ තැන බවට පත්වුණා. ඒ හොරුන්ට නැවත වරක් හොරකම් කරන්න බැරිවුණාම තමයි මේ අවුල කරන්නේ. අද වරාය දියුණු කිරීමට ආයෝජකයින් පැමිණ අප සමඟ සාකච්ඡා කරනවා. ඒ ගැන වත් අද මේ වෘත්තීය සමිති නායකියින් කියා ගන්නා තිදෙනාට තේරෙන්නේ නැහැ. එදා වරායවල් විකුණන්න ඕනේ කියලා කෑගහපු කට්ටිය තමයි අද ඔය අබුද්ධිමත්ව කෑගහන්නේ. ලෝකේ වරායන් අතරේ දැනට අපි ඉන්නේ 26 වැනි ස්ථානයෙහි. ඉදිරියේදී සංවර්ධන කටයුතු වේගවත් කර ප්‍රධාන වරායවල් 20 අතරට අපේ කොළඹ වරාය ගෙනඒම තමයි අපේ ලොකුම බලාපොරොත්තුව.....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා කියා සිටියේය.