ලෝකේ හොඳම හිටපු ක්‍රිකට් කඩකයා ගාර්ෆීල්ඩ් සෝබර්ස් - ඇමති අර්ජුන

ලෝකයේ සිටි හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව අද (26) කියා සිටියේ ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් මැතිතුමා හමු වූ අවස්ථාවේදීයි. වරාය සහ නාවික අමාත්‍යාං ශ්‍රවණගාරයේදී එම හමුව පැවැත්විණ. ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් මැතිතුමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට කළ මෙහෙයවර අගය කිරීමටත්, එතුමාට කෘතගුණ දැක්වීමටත් මෙම හමුව සංවිධානය කර තිබිණ. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වරාය සහ නාවික අමාත්‍ය  අර්ජුන රණතුංග මැතිතුමා අවධාරණය කළේ ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් මහතා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ අද්වතීය පුහුණුකරුවකු වන බවයි. 

“ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මැතිතුමා මගේ ක්‍රිකට් ජීවිතයේ විශේෂ පුද්ගලයෙක්. 1993 ඕස්ට්‍රේලියා තරගාවලියට පෙර මම කණ්ඩායමට ඇතුළත්ව සිටියේ නැහැ. නමුත් පුහුණුකරුවකු ලෙස ලංකාවට පැමිණි ගාර්ෆීල්ඩ් සෝබර්ස් මහතා තේරුම් කමිටුවෙන් ඉල්ලීමක් කරලා නැවත වරක් මාව කණ්ඩායමට එක් කර ගත්තා. ඇත්තට ඊට පසුව තමයි මම කණ්ඩායමේ ස්ථාවර තත්ත්වයකට ආවේ. ඒ සඳහා මෙතුමා දුන් උපදෙස් වඩාත් වැදගත් වුණා. ඉතිං අවුරුදු 30කට පසුව මෙතුමා ලංකාවට ආවයි කිව්වම මට ගොඩක් සතුටක් ඇති වුණා...” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා මෙහිදී පැවසීය. මාධ්වේදීන් අමතමින් ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතා අනාවැකි පළ කළේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය වඩාත් සුබවාදී වනු ඇති බවයි. එතුමා වැඩිදුරටත් පැවසුවේ

“ලංකාවට පුහුණුකරුවෙකු ලෙස පැමිණෙන්නැයි ගාමිණී දිසානායක මහතා මට ආරාධනා කරන විට මම හිටියේ ඕස්ට්‍රේලියාවේ. ඒ වනවිට ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාගත්තා විතරයි. නමුත් ලංකාවේ දක්ෂ ක්‍රීඩකයින් සිටීම ඒ ආරාධනාව පිළිගැනීමට හේතුවක් වුණා. මම දැක්කා අර්ජුන රණතුංග ක්‍රීඩා කරන හැටි. මගේ පළමුවැනි රාජකාරිය වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වේගපන්දු යවන්නන්ට හුරු කිරීම. වේගපන්දු යවන්නන්ගේ අත්දැකීම් ශ්රීී ලංකා ක්රිීකට් ක්රී ඩකයින්ට ලබා දීම.  ඒ සඳහා ඔවුන්ගේ මනස සැකසීම. මොකද ඒ වන විට ඉතා ඉහළ දක්ෂතා සහිත වේගපන්දු යවන්නන් හැමතැනම සිටියා. ඉන්පසුව තාක්ෂණික පැත්ත කෙරෙහි මම අවධානය යොමු කළා. ශ්‍රී  ලංකාවේ දක්ෂ ක්‍රීඩකයින් එදත් සිටියා. එවැනි ක්‍රීඩකයින් ඉදිරියේදීත් බිහිකළ හැකියැයි මම විශ්වාස කරනවා...” යනුවෙනි.

අද පැවැති මෙම හමුවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා උපහාර තිළිණ සහ සිහිවටනද ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් මහතාට පිරිනැමීය. මෙම අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර  ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී වී සිටියහ.