වරායේ වඩුමඩුව ගැන වෘත්තීය සමිති ගෙන ගිය ප්‍රචාර අසත්‍යයි - ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උපසභාපති මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් වඩු කාර්මික මධ්‍යස්ථානය ගැන ඇතැම් වෘත්තීය සමිති නායකයින් ගෙන ගිය ප්‍රචාර අසත්‍ය බව එම අධිකාරිය අවධාරණය කරයි. වරාය සහ නාවික අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එහි උපසභාපති මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා කියා සිටියේ ගරු වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රතිරූපය බිඳ දැමීමේ සංවිධානාත්මක අපරාධයක් වෘත්තීය සමිති නායකයින් විසින් සිදු කරන බවයි.

පිටස්තර පුද්ගලයින්ට නිසි අවසරයක් ලබා නොගෙන, ඔවුන් සමඟ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වඩු කාර්මික මධ්‍යස්ථානයට ඇතුළු වූ වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙකු මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ එහි තිබූ සියලු ගෘහ භාණ්ඩ වරාය ඇමැතිතුමාගේ පෞද්ගලික පරිහරණය සඳහා සාදන ඒවා බවයි. එහෙත් කිසිම විදියකින් වරාය අමාත්‍යතුමාගේ පෞද්ගලික පරිහණය සඳහා කිසිම ගෘහ භාණ්ඩයක් මෙම වඩු කාර්මික මධ්‍යස්ථානයේදී නොසැදූ බව අද පැවැති මාධ්‍ය හමුවේදී වරාය උප සභාපති මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා පැවසීය.   

 “ වරාය අධිකාරියේ වඩු මඩුවේ ඉතිහාසය  දශක හතරක ඈතට විහිදෙන්නක්. ඒ කියන්නේ වසර 37 ක ඉතිහාසයක් මෙයට තියෙනවා. වරාය අධිකාරියේ අවශ්‍ය කාර්යාලීය උපකරණ වගේම වරාය අධිකාරියේ නිල නිවාස, සංචාරක බංගලා ආදි සියලුම අංශවල ගෘහ භාණ්ඩත් සැකසෙන්නේ මේ වඩු මඩුවෙන්. විශේෂයෙන්ම අමාත්‍යතුමා නව පාලනාධිකාරියට නිශ්චිත දැනුම් දීමක් කළා, පිටස්තර ආයතනවලට කරන වියදම් අඩු කර වරාය අධිකාරියේ සේවකයින්ගෙන් උපරිම සේවය ලබා ගන්න කියලා. එහි පියවරක් වශයෙන් අපි නිල නිවාස සඳහා කාර්යාලීය උපකරණ සහ සංචාරක බංගලා වලට අවශ්‍ය සියලු ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ මේ වඩු මඩුවෙන්. එයින් අපිට පිටස්තර ආයතනවලට ගෙවූ මුදල් විශාල ප්‍රමාණයක්  ඉතිරි කරගන්න හැකියාව ලැබුණා. කෙසේනමුත් මට ඊයේ මාධ්‍ය සංදර්ශනය තුළ දකින්න ලැබුණා කාන්තාවන්ට විශේෂ ගෘහ භාණ්ඩ සෑදීමක් ගැන. එවැනි දෙයක් මේ ආයතනයේ සිදුවෙන්නේ නැහැ. විශේෂයෙන්ම මෙවැනි අසත්‍ය ප්‍රචාර පැතිරවීම මේ පිටුපස තියෙන්නේ සංවිධානාත්මක අපරාධයක්. අමාත්‍යවරායගේ ප්‍රතිරූපය ජනමාධ්‍ය හරහා බිඳ දැමීමේ තවත් එක් ක්‍රියාවලියක් වශයෙන් තමයි මේක මම දකින්නේ. නමුත් ඔවුන්ගේ එම අරමුණ ඉටු වෙන්නේ නෑ. මොකද යථාර්ථය සමාජ ගතවෙනවා කොතනකින් හරි....” යැයිද උප සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.  

මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ සරත්කුමාර ප්‍රේමචන්ද්‍ර මහතා පැවසුවේ තම ආයතනයට අයත් කිසිඳු ගෘහ භාණ්ඩයක් වරායෙන් පිටත කිසිදු පෞද්ගලික නිවසකට හෝ ස්ථානයකට ගෙන ගොස් නොමැති බවයි. එම සියලුම ගෘහ භාණ්ඩ ලේඛනගත කර ඇතැයිද ඔහු අවධාරණය කළේය. මෙහිදී ගරු අර්ජුන රණතුංග අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් තමීර මංජු මහතා පැවසුවේ මේ වන විට අර්ජුන රණතුංග අමාත්‍යතුමා විදේශගතව සිටින බවයි. එතුමා දිවයිනට පැමිණ පසු මේ චෝදනා ගැන පිළිතුරු දක්වන බවද ඔහු කියා සිටියේය. වැඩිදුරටත් කරුණු දැක්වූ මාධ්‍යලේකම්තුමා සියලු දෙනාට ආරාධනා කළේ වරායේ වඩු කාර්මික මධ්‍යස්ථානය නරඹා යථාර්ථය ඇසින් දකින ලෙසයි. පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ දූෂිත ගනුදෙනුවලට හවුල් පිරිස් මේ වන විට සුදු පිරුවට ඇඳ වරාය තුළ වෘත්තීය සමිති මාෆියාවක් දියත් කරමින් සිටින බවද ඔහු පැවසීය.                                 

“අපිට සැකයක් තියෙනවා මේ කඩාකප්පල්කාරී ක්‍රියා පිටුපස ඉන්නේ බුකී ව්‍යාපාරයට සම්බන්ධ පරාජිත දේශපාලනඥයෙක්ද කියලා. මොකද පසුගිය කාලයේදී වරාය අවුල් කර ඇමැතිතුමාගේ දේශපාලන ප්‍රතිරූපය බිඳ දැමීමට කඩාකප්පල්කාරී ක්‍රියා රැසක් මේ වරාය පරිශ්‍රයේ සිදු වුණා. ඉතා පැහැදිලිව මේ වෘත්තීය සමිති යැයි කියා ගන්නා මේ පිරිස්ගේ ඉතිහාසය දිහා බලන්න. මොවුන් පසුගිය රාජපක්ෂ රෙජීමය කාලේ යහමින් මුදල් හම්බ කළ අය. ගාලුමුවදොර පිටියේන් විශාල පරිමාණයෙන් මුදල් වංචා කළ අය. ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස සිටිමින් පෞද්ගලික සමාගම් ඇති කරමින් වරායේ සල්ලි හොරකම් කළ අය මාස තුනක් විතර ළංවෙද්දි යහපාලනය පැත්තට පැන්නා. දැන් මේ වරායේ හොරකම් නතර කරලා. හොරකම් කරන්න බැරිවුණාම මේ අය වරාය අවුල් කරලා ඇමතිතුමාට මඩ ගහනවා. ඇත්තටම මේ පිරිස ශුද්ධවන්ත චරිත නෙමෙයි. මුලදී මේ අය කිව්වා වරායේ සම්බාහන මධ්‍යස්ථානයක් දාලා කියලා. ඇමැතිතුමාගේ අම්මට උපදේශක තනතුරක් දුන්නා කියලා. උපසභාපතිතුමා ඇමතිතුමාගේ මස්සිනා කෙනෙක් කියලා. නමුත් පසුව වෘත්තීය සමිති නායකයින් යැයි කියා ගන්නා මේ පිරිස්වලටම එම චෝදනා වැරදි යැයි කියන්න සිදු වුණා. දැන් අලුත් ජවනිකාවක් කරළියට ගෙනවිත්. ඒකත් පරණ කථාවගේ අසත්‍යයි. කිසිම පදනමක් නැහැ....”යැයිද මාධ්‍ය ලේකම් පැවසීය.

මෙම සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදීන්ට වඩු කාර්මික මධ්‍යස්ථානය නැරඹීමේ අවස්ථාවද හිමි විය. එහි භාරකරු බී. එස්. ඒ. බාලසූරිය මහතා මාධ්‍ය‍වේදීන්ට කියා සිටියේ ඊයේ දිනයේදී වෘත්තීය සමිති නායකයින් ඉදිරියේ සත්‍ය කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළත් ඊට ඉඩක් නොලැබුණු බවයි. එම කරුණු මාධ්‍ය මගින් ප්‍රචාරය වූයේ නම් ඊයේ දිනයේදී පුවත් නොවන බවද ඔහු කියා සිටියේය. මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ සරත්කුමාර ප්‍රේමචන්ද්‍ර මහතාද ප්‍රධාන ඉංජිනේරු සිවිල් පී. එම්. එස්. සෝමරත්න මහතාද සහභාගි වූහ.