වරායේ ආරක්ෂාවට විශේෂ කමිටුවක් - අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි

කොළඹ වරාය ඇතුළුව මෙරට සියලුම වරායවල ආරක්ෂාව සුරක්ෂිත කිරීම උදෙසා වහාම පියවර ගන්නැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සිය නිලධාරීන්ට උපදෙස් දෙයි. වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (08) පැවැති රැස්වීමකදී එතුමා වැඩිදුරටත් පැවසුවේ කොළඹ වරායේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේදී විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බවයි. එහෙත් යම්දෙයක් සිදු වන්නට පෙර සූදානම් වීම සහ ගැටළු හඳුනා ගැනීම වැදගත් බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

“දෙයක් සිද්ධවුණාමයි අපිට ඇස් ඇරෙන්නේ. ළඟම උදාහරණය පසුගියදා ආයුධ ගබඩාවක ඇතිවූ  ප්‍රශ්නය. අපිත් එයින් පාඩම් ඉගෙන ගත යුතුයි. අපේ වරායේ දෙයක් වුණාට පසු සාකච්ඡා කිරීමට වඩා එය වළක්වා ගැනීම ඉතා වැදගත්. විශේෂයෙන්ම මේ වන විට වරාය ,ගුවන් තොටුපළ වැනි ස්ථාන ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා ජනාධිපතිතුමා අපිව දැනුවත් කරලා තියෙනවා. දැන් අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි රක්ෂණය. වරාය රක්ෂණය කරන්න ගියොත් අවුරුදු 05 කට ලැබෙන ආදායමත් මදි වාරික ගෙවන්න. මේ නිසා අපිට වරාය රක්ෂණය කරලත් බැහැ. නොකරත් බැහැ. නමුත් අපි මේ වන විට මේ ප්‍රශ්න විසඳා ගැනීමට සුදුසු පියවර ගනිමින් සිටිනවා.... ” යනුවෙන්ද අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පැවැති  රැස්වීමට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා සහ වෙළඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නැව් සංස්ථාව, නාවික හමුදාව, පොලිසිය සහ අනුබද්ධ ආයතනවල නිලධාරීන් විශාල පිරිසක් සහභාගි විය. එහිදී අදහස් දක්වමින් වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා පෙන්වා දුන්නේ වරාය ගොඩබිම පමණක් නොව නාවික සමුද්‍ර මාර්ගයේ ආරක්ෂාව ගැනද පෙරට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

“කොළඹ වරායේ දෛනිකව විශාල භාණ්ඩ ප්‍රමාණයක් හුවමාරු වෙනවා. එයින් සියයට 70ක්ම ප්‍රතිඅපනයන කරන භාණ්ඩ. මේ සමස්ත භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයක් අවධානම් සහගත භාණ්ඩ (Dangerous cargo) බවත් අපිට පේනවා. ඉතාමත් වැදගත් කරුණ කොළඹ වරායට ආසන්නව දිවෙන සමුද්‍ර මාර්ගයේ යන තෙල් නැව්. මේ සමුද්‍ර මාර්ගයේ දිනකට යන නැව් සංඛ්‍යාව 300ක් පමණ වනවා. එයින් 40 - 50ක ප්‍රමාණයක් තෙල් නැව්. මේ නිසා මේ නැව්වල ආරක්ෂාව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. මේ තෙල් නැවකට යම්කිසි දෙයක් වුණොත් ආර්ථිකයට පමණක් නෙමෙයි පරිසරයටත් හානියක් වෙන්න පුළුවන්. මේ නිසා සමස්ත වරායේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලැස්මක් සැකසිය යුතුයි....” යැයිද එල්. පී. ජයම්පති මහතා මෙහිදී පැවසීය. එමෙන්ම මෙම රැස්වීමේදී වරායේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීමට සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි කමිටුවක්ද පත් කෙරිණ.