හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල ලෙස ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දෙයි

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් (CM Port )සමාගම විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබාදෙන ලදී. හම්බන්තොට වරාය සඳහා වූ මෙම ආයෝජනය ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබු වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල ලෙසින් සැළකේ. හම්බන්තොට වරායේ පළමු ආයෝජන කොටසේ අවසන් වාරිකය වන එය ඇ.ඩො. මිලියන 584.19 කි. (රු. බිලියන 93) ඒ සඳහා වූ චෙක්පත චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමූහයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන නියෝජිත රේ රෙන් මහතා විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා වෙත ලබා දෙන ලදී. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරීහූ මෙන්ම චයිනා මර්චන්ට් පෝර්ට් සමූහයේ උසස් නිලධාරීහූ එක් වු හ.

පසුගිය වසරේ දෙසැම්බරයේ දී සහ 2018 ජනවාරි මස මුදා හැරුණු පළමු හා දෙවන වාරිකයන් සඳහා පිළිවෙළින් ඇ.ඩා. මිලියන 292 ක් (රු. බිලියන 46ක්) සහ ඇමරිකානු ඩොලර් මිලියන 97 ක් (රු. බිලියන 15ක්) චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පිරිනැමිණි. මේ සමග චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම විසින් සම්පූර්ණ කෙරෙන පළමු ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 976 කි (රු. බිලියන 156) මීට අමතරව එකී ගිවිසුම් ප‍්‍රකාරව වරාය හා සමුද්‍රික ක‍්‍රියාකාරකම් සඳහා දෙවන ආයෝජන වටිනාකම වශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 146 ක (රු. බිලියන 23) ක මුදලක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත තැම්පත් කිරිමට එම සමාගම එකඟතාව පලකර ඇත.

අතිගරු ජනාධිපතිතුමා හා ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ, වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම හා නයකත්වය මත හම්බන්තොට වරායේ ශක්‍යතා හා කාර්යක්‍ෂම මෙහෙයුම් සඳහා ශ‍්‍රී ලංකා රජයේ එකඟතාවයෙන් යුක්තව පසුගිය වසරේ ජූලි මාසයේ දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් පෝර්ට් හොල්ඩිංග්ස් සමාගම අතර රාජ්‍ය හා පුද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ හම්බන්තොට වරාය කළමණාකරණ, මෙහෙයවීම හා සංවර්ධනය කිරීම මූලික කරගත් ගිවිසුමට අත්සන් තැබිණි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 9 වැනි දින හම්බන්තොට වරාය කළමණාකරණය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) යන හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා පුද්ගලික සමාගම (HIPS) නිල වශයෙන් ස්ථාපිත කොට එමගින් සඵලදායිතාවයෙන් යුතුව ගිවිසුම සිදු කිරීමට අවකාශ සැලසුණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ ‘‘ගෝලීය වරාය ක්‍ෂේත‍්‍රයේ දැනට ක‍්‍රියාත්මක සමාගම් අතර (CM Port )සමාගම ඉතා සාර්ථක සමාගමක් බවත්, හම්බන්තොට වරාය උදෙසා ඔවුන් විසින් කළ මෙම ආයෝජනය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සහ එහි ධනාත්මක ප‍්‍රවණතා පිළිබඳව ඔවුන්ගේ දැඩි විශ්වාසය තහවුරු කිරීමක් වන බවයි.’’

ශ‍්‍රී ලංකාව සුවිසල් සමුද්‍රීය හා සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් HIPG,HIPS යන මෙම සමාගම් දෙක ස්ථාපිත වීම තුළ හම්බන්තොට වරායේ අදියර i සහ ii සඳහා ඇ.ඩො.මිලියන 400 ක් හා 600 ක් යෙදවේ. මේ දැවැන්ත ආයෝජනය තුළින් විශාල විදේශීය ආයෝජන රට තුළට ආකර්ශණය වීම ද සිදුවනු ඇත.

2017 වර්ෂයේ දී කොළඹ වරාය ලෝකයේ බහලූ මෙහෙයුම් වරායයන් අතර 23වැනි ස්ථානයට පත් වූ අතර, ලෝකයේ හොඳම සම්බන්ධිත වරායයන් අතරින් 13වැනි ස්ථානයට පත් වි ය. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 2016 වසරේ ලබා ගත් ලාභය වන රුපියල් බිලියනට සාපේක්‍ෂව 2017 වර්ෂයේ දී රුපියල් බිලියන 13.2ක් ලාභය ලෙස උපයා ගන්නා ලදී. 2018 වර්ෂයේ මුල් මාස 05 දී කොළඹ වරායේ ප‍්‍රතිනැව්ගත කිරීමේ වර්ධනය 2017ට සාපෙක්‍ෂව 19.2%ක් ලෙස වාර්තා වූ අතර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් මෙහෙයවන ජය බහලූ පර්යන්තයේ ප‍්‍රතිනැව්ගත කිරීමේ වර්ධනය 21%ක් ලෙස වාර්තා වූ අතර, හම්බන්තොට වරායේ සිදු වන මෙම ආයෝජනයත් සමග ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ලාභාංශය ඉදිරියේ දී තව දුරටත් වර්ධනය වනු ඇත.

 

වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා අද දින(21) චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම ඇමරිකන් ඩොලර් මිලියන 584 ක් (රුපියල් බිලියන 93ක්) හම්බන්තොට වරාය අවසන් ආයෝජන මුදල ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබාදීම හා ඒ සම්බන්ධයෙන් වන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව සඳහා සහභාගී විය.