සියලුම දෙනාටම එකට ජීවත් වීමේ අයිතිය ලබාදීම අපේ අරමුණයි - ඇමති අර්ජුන පවසයි.

“පසුගිය කාලයේ වූ සිදුවීම් සමඟ ඉදිරියට යෑම එතරම් පහසු දෙයක් නෙවෙයි. නමුත් අපි උත්සාහ කරන්නේ මේ රට එකමුතුව තියා ගන්න. ශ්‍රී ලාංකිකයින් හැටියට සියලුම දෙනාට එකට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න....”

ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වෙමිනි. වරාය අධිකාරියේ මුස්ලිම් මජ්ලිස් සංවිධානය කළ මෙම ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයට ජාතික ඒකාබද්ධතා සහ ප්‍රති සන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆව්සි මහතාද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ද රැසක්ද සහභාගී වූහ. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වූ 28 වැනි අවස්ථාවද මෙය වේ. මරදාන බුකර්ස් උත්සවශාලාවේදී එය පැවැත්විණ. ඊට සහභාගි වූ ඉස්ලාමීය බැතිමතුන් අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ සියලුම ජාතීන්ට එකට වාසය කළ හැකි වාතාවරණයක් මේ වනවිට රට තුළ ගොඩ නැගී ඇති බවයි. ආයතනයේ සේවය කිරීමේදී දෙමළ, මුස්ලිම් යනාදී භේද නොසලකා කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

“අපි රජයක් හැටියට පසුගියකාලේ තිබුණ ප්‍රශ්න නැති කර සියලුම ජාතීන්ට එකට සිටිය හැකි ක්‍රමවේදයක් අද සකසා තියෙනවා. වරාය අධිකාරියත් වරාය අමාත්‍යාංශයත් සිංහලද, දෙමළද , මුස්ලිම්ද කියලා අද බලන්නේ නැහැ. සුදුස්සාට සුදුසු තැන ලබා දෙනවා. රජයක් හැටියට අපේ අරමුණත් මේ සහෝදරත්වය වැඩි කරන්න. අවුරුදු ගාණක් තිස්සේ අපි එකිනෙකා හැප්පුණා. එයින් රටක් හැටියට අපේ ගමනට බොහෝ දුරට බාධා එල්ල වුණා. නමුත් අද මේ රට පාලනය කරන්නේ දේශපාලනික වශයෙන් ප්‍රධාන පක්ෂ දෙකක නායකයෝ දෙන්නෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්, එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් අද රට ගෙනියන්නේ සියලුම ජාතීන් එක් කර ගනිමින්. මේක පහසු කාර්යයක් නෙවෙයි. පසුගිය ආණ්ඩු කාලේ වූ සිදුවීම් එක්ක ඉදිරියට යෑම එතරම් ලෙහෙසි දෙයක් නොවන බව අපි දන්නවා. නමුත් සියලුම දෙනාට එකට ජීවත් වීමේ අයිතිය ලබාදීමට මේ නායකයින් දෙදෙනා අද සමත්ව සිටිනවා....” යැයිද අර්ජුන රණතුංග මැතිතුමා එතුමා එහිදී පැවසීය.