ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක් විකුණන්නේ නැහැ - අතිගරු ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක් පෞද්ගලීකරණයට ලක් නොකරන බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. එතුමා වැඩිදුරටත් අවධාරණය කළේ වරායද පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් නොපෙනෙන බවයි. එතුමා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ CFS 1 බහළු මෙහෙයුම් මධ්‍යස්ථානය  විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි. අද උදෑසන පැවැති මෙම සම්භාවනීය අවස්ථාවට  ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා, ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මැතිතුමා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මැතිතුමා ඇතුළුව ආරාධිත අමුත්තන් රැසක් එක් වූහ.

අද පැවැති උත්සවයේදී  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව වෙබ් අඩවිය විවෘත කිරීමද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් සිදු විය. අද විවෘත බහළු මෙහෙයුම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් ආරම්භ කෙරුණේද ජනාධිපතිතුමාගේ සංඥාවෙනි. වරාය අධිකාරියේ සේවක සේවිකාවන් අධික පිරිසක් සහභාගි වූ එම උත්සව සභාව අමතමින් අතිගරු ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජාතියේ හදවත වූ වරාය සුරකීම සඳහා අමාත්‍යවරයාට සහාය දීම සෑම දෙනාගේම වගකීම වන බවයි.

“අර්ජුන රණතුංග අමාත්‍යතුමා මා දීර්ඝ කාලයක සිට දන්නා හඳුනන කෙනෙක්. මම 2014 නොවැම්බර් මස 21 වැනිදා එවකට පැවති ආණ්ඩුවෙන් ඉවතට ගොස් පොදු අපේකෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ මා සමඟ සෙවනැල්ල සේ එකට පැමිණි කෙනෙක් අර්ජුන රණතුංග අමාත්‍යවරයා. ඒ නිසා එතුමා සමඟ මගේ තියෙන්නේ ඉතා දැඩි මිත්‍රශීලී භාවයක්. වරාය අධිකාරියේ සභාපතිතුමාද, අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයද, අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලයද, කලමනාකාරීත්වයද, වෘත්තීය සමිතිද මේ සෑම කනෙක්ම සුහදතාවය, මිත්‍රශීලීභාවය පිළිබඳව පුළුල් අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍යයයි. බොහෝ වෙලාවට අපේ රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට දීම සම්බන්ධයෙන් නොයෙකුත් මාධ්‍යවල ඇසෙන දකින දේවල් තියෙනවා. නොයෙක් සාකච්ඡාවලට ලක්වන දේවල් තියෙනවා.

වරාය ගත්විට එහි යම් යම් අංශ පිළිබඳවත් එවැනි විවිධ අදහස් මම අහලා තියෙනවා. මාධ්‍ය තුළ දැකලා තිබෙනවා. මම දැක්කා පසුගිය දවසක පුවත්පතක තිබුණා ලංකා හොස්පිටල් එක විකුණන්න යනවා කියලා. ඒවගේම ඉතා ලාභ ලබන ආයතන පිළිබඳ නම් වැලක් මම එහි දැක්කා. එහිදී නම් වරායේ නම මම කොහෙවත් දැක්කේ නැහැ. කෙසේවෙතත් ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක් විකිණීම සම්බන්ධයෙන් මම ප්‍රතිපත්තියක් ලෙස කිසිවිටෙකත් එකඟ වන්නේ නැහැ. එය මම ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා. පාඩු ලබන ආයතන තියෙනවා නම් ඒ ආදායම් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ගතයුතු පියවර රාශියක් අපිට තියෙනවා. ඇතැම් විටෙක පෞද්ගලික අංශ සමග ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවන් තියෙනවා. නමුත් ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවිටෙකත්, සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් පෞද්ගලික අංශයට විකිණීමට මම එකඟ වන්නේ නැහැ. මම ඒ ප්‍රතිපත්තියේ සිටිනවා.....” යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහිදී පැවසීය.

අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් අද විවෘත කෙරුණු බහළු මෙහෙයුම් මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම නිමා කළේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තාක්ෂණය සහ ශ්‍රමය උපයෝගි කරගනිමිනි. මේ හේතුවෙන් එම බහළු මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 95ක භාණ්ඩ වියදම පමණක් වැය විය. වර්ග මීටර 5400ක ප්‍රමාණයකින් යුත් බහළු මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදිකළ වරාය සේවක සේවිකාවන් අතිගරු ජනාධිපතිතුමා සමඟ සමූහ ඡායාරූපයකට ද අද පෙනී සිටියේය.