ලෝකයේ වරායන් හා සංසන්දනයේදී කොළඹ වරාය ඉහළ මට්ටමක තිබෙනවා. කලමනාකරණ අධ්‍යක්ෂ - සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර - ශ්‍රී ලංකා වරාය අධිකාරිය.

ලෝකයේ සෙසු වරායන් හා සංසන්දනය කිරීමේදී කොළඹ වරාය ඉහළ ස්ථානයක පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  කලමනාකරණ අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ රූපවාහිනි වැඩසටහනකට එක්වෙමිනි.

“ලෝකය එක්ක සැසඳුවම ලෝකයේ කන්ටේනර් මෙහෙයවන වරායන් අතර කොළඹ වරාය 26 වැනි ස්ථානයේ පසුවනවා. 26 කිව්වම සාමාන්‍යයෙන් හොඳ ස්ථානයක් නෙවෙයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් දියුණු රටවල් වූ යුරෝපයේ විශාල වරායවල් කිහිපයකට වඩා ඉහළින් කොළඹ වරාය තියෙනවා. ඒ නිසා 26 කියන එක ලබාගත යුතු ස්ථානයක් හැටියට සැලකෙනවා. මොකද මූලික වශයෙන් පළවෙනි වරායවල් 30 අතරට ඇතුළත් වෙන්න පුදුම තරගයක් තියෙනවා. ඒ නිසා 26 කියන්නේ හොඳ ස්ථානයක්. විශේෂයෙන් එය අපි සසඳන්න අවශ්‍ය මේ  අපි ඉන්න දකුණු ආසියා කලාපයත් සමගයි. දකුණු ආසියා කලාපයේ ඒ තත්ත්වයේ පවතින එකම වරාය කොළඹ වරාය. පුංචි රටක් පුංචි ආර්ථීකයක් ඒත් ලෝකයේ නම තියන්න පුළුවන් වරායක්...” යනුවෙන්ද කලමනාකරණ අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර මහතා පවසයි.

එය විග්‍රහ කළ කලමනාකරණ අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර මහතා පැවසූයේ,

“වරාය වෙත වසරක් තුළ සේන්දු වන නෞකා ප්‍රමාණය සාමාන්‍යයෙන් 4500 ඉක්මවයි. මේ වනවිට ලෝකයේ බහලු ගෙන එන නෞකාවන්හි විශාළත්වයේ වර්ධනයක් පෙන්නුම් කරනවා. වරාය අධිකාරිය බහලු මෙහෙයුම් ආරම්භක සමයේ කොළඹ වරායට සේන්දු වූයේ බහලු 100 ත් 700 ත් අතර ප්‍රමාණයක් ගෙන එන නෞකා. නමුත් අද වනවිට වරාය වෙත සේන්දු වන නෞකා විශාළත්වයෙන් වැඩියි. ඒ කියන්නේ මේ වනවිට බහලු 22000 ක් පමණ නෞකාවකින් ගෙන එනවා. බැලූ බැල්මට එය නෞකාවක් ලෙස නොව විශාල බහලු අංගන වගේ. මේ සංවර්ධනයත් එක්ක නව පහසුකම් යටතේ සියලු වර්ගයේ සහ ප්‍රමාණයේ නෞකාවන්ට පහසුකම් සැපයීමේ හැකියාවක් තියෙනවා...” යනුවෙනි.