හම්බන්තොට වරාය දියුණු කිරීම නතර කිරීම සඳහා කුමන්ත්‍ර‍ණයක් ඇති බවට සැකයක්.

ආයෝජකයින් ගෙන්වා හම්බන්තොට වරාය දියුණු කිරීමට ගන්නා උත්සාහය නතර කිරීමට විදෙස් රටක මැදිහත් වීමෙන් කුමන්ත්‍ර‍ණයක් සිදු වන බවට සැකයක් මතුව තිබේ. ඒ පිළිබඳව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගෙන් මාධ්‍යවේදීන් අද ප්‍ර‍ශ්න කර සිටියේය. ඒ බාඳුරාගොඩ ශෛලතලාරාම විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදීය.

මේ වන විට අන්දමන් මුහුද සහ තායිලන්තයේ ගල්ෆ් කලාපය යා කරමින් දකුණු තායිලන්තය හරහා කෘත්‍රිම ඇලක් නිර්මාණය කිරීමට කටයුතු යොදා තිබේ. චීන ආධාර යටතේ ඉදිකෙරෙන එම ඇල නම් කර ඇත්තේ තායිලන්ත ඇල හෙවත් ක්‍රා ඇල (The Kra Canal or the Thai Canal) යනුවෙනි. එම ඇල නිර්මාණය කිරීමෙන් දකුණු චීන මුහුදේ සිට ඉන්දියන් සාගරය වෙත පහසුවෙන් පිවිසීමේ අවස්ථාව නෞකාවලට උදාවේ. ඒ පිළිබඳව මාධ්‍යවේදීන් අර්ජුන රණතුංග අමාත්‍යතුමාගෙන් අද විමසා සිටි අවස්ථාවේදී පැවසුවේ,

“ විශේෂයෙන්ම දැනට  කතාවක් යනවා තායිලන්තයේ හැදෙන ඇල මාර්ගයේ කටයුතු අවසන් වුණාට පස්සේ මේ ප්‍රදේශයේ තියෙන ප්‍ර‍ධානම රටක ව්‍යාපාර තත්ත්වය අඩුවෙනවා කියලා. සමහර වෙලාවට ඔවුන්ගේ යටිකූට්ටු වැඩක් වෙන්නත් පුළුවන්. මට එය ස්ථිරව කියන්න බැහැ. මොකද ඒ රටට යන නැව් ප්‍ර‍මාණය දවස් පහක් විතර අඩුවෙනවා හම්බන්තොටට කොළඹට එන එකෙන්. ඕනම නැවක් කැමති වෙන්නේ අඩු කාලයකින් ඇවිල්ලා අඩු වියදමක් කරලා අනෙක් වරායට යන්න. මේ ඇල හැදුණට පස්සේ වැඩිම ශක්තියක් එන්නේ හම්බන්තොටටයි. කොළඹටයි. ඒ රට වරාය සම්බන්ධව ප්‍ර‍ධානම රටක්. සමහර විට ඒ රටෙන් අපේ පුද්ගලයෝ යොදවනවද දන්නේ නැහැ මේ විදයට කඩාකප්පල් කරලා නැවත් වරක් හම්බන්තොටට එන ගමන් නවත්වන්න...” යනුවෙනි. කෙසේනමුත් රටට හානි වන ලෙසින් හම්බන්තොට වරාය ගැන කිසිදු තීරණයක් නොගන්නා බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා යළිත් අවධාරණය කළේය.

“රටට හානිවෙන දේවල් කරන්න් එපා කියලා මම අධ්‍යක්ෂ මණ්ඩලයට නියෝග දීලා තියෙනවා. ඒක ජනාධිපතිතුමත් අගමැතිතුමාත් කියලා තියෙනවා. පළමුවැනි වාර්තාව ලබාගෙන තියෙන නිසා හැකි තරම් වැඩි වාසි රටට ලබාගන්න තැන තමයි අපි ඉන්නේ.....”  යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. අද එතුමා සහභාගි වූ ආගමික වැඩසටහන නම් කර තිබුණේ ගමේ පන්සල ගමට සවියක් යනුවෙනි. මව්රට තරුණ සංවිධානය ඉදිරිපත් කළ එම වැඩසටහන යටතේ ප්‍රදේශයේ දරුදැරියන්ට පාසල් පොත් කට්ටල පිරිනැමිණ. හදිසි රිය අනතුරකින් පාදයක් අහිමි වූ මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ මිලාන් ශෂික ගුණවර්ධන ශිෂ්‍යයාට මූල්‍යමය පරිත්‍යාග සිදු කිරීමද මෙහිදි සිදු කෙරිණ.