අනන්‍යතා ආරක්ෂා කිරීම ජාතික සමඟියේ පදනමයි. රාමාසාන් උත්සව දින පණිවිඩයෙන් ඇමති අර්ජුන පවසයි.

සියලු ජාතීන්ගේ අනන්‍යතා ආරක්ෂා කරමින් එකිනෙකාට ගරු කිරීම, ජාතික සමඟියේ මූලික පදනම බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. අනාදිමත් කාලයක සිට අප සමඟ සහෝදරත්වයෙන් ජීවත් වන ඉස්ලාමීය බැතිමතුන් ජාතික සමඟි උදෙසා දක්වන කැපකිරීම අගය කරන බවද එතුමා පවසයි. රාමසාන් දින පණිවිඩය නිකුත් කරමින් අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් පවසන්නේ රට මුහුණ දෙන සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම බෞද්ධ, හින්දු, කිතුනු මෙන්ම ඉස්ලාමීය බැතිමතුන්ද රට මූලිකත්වයෙහිලා කටයුතු කිරීම ඇගයීමට ලක්කරන බවයි.

“රාමසාන් මාසයේ තේමාව වන්නේ අන්‍යයන්ට උපකාර කිරීමයි. පරාර්ථකාමීත්වය සහ අධ්‍යාත්මික පෝෂණයද රාමාසාන් දිනයේ මූලික තේමාවන් වේ. එම තේමාවන් පදනම් කරගනිමින් අපගේ එදිනෙදා ජීවිතය හැඩගස්වා ගන්නේ නම් පෞද්ගලික ජීවිතයේ බොහෝ ගැටුම් නිරාකරණය කර ගත හැකි බව මගේ විශ්වාසයයි. රටක් ලෙස ලෝකය හමුවේ නැඟී සිටීමටද අප ජාතික මට්ටමෙන් එසේ ක්‍රියාත්මක විය යුතු බවද මම අවධාරණය කරමි. එකිනෙකාට ගරු නොකරමින් අප බෙදී සිටින තාක්කල් අපට ඉදිරි ගමනක් නොමැත. රටේ දියුණුවක්ද නොමැත. අපේ දියුණුව රඳා පවතින්නේ එකිනෙකාගේ අනන්‍යතා රැක ගනිමින් එකට එක්ව කටයුතු කිරීමෙනි. මේ රාමසාන් දිනයේදී අප අදිටන් කර ගත යුත්තේද එයයි. ඉස්ලාමීය බැතිමතුන් තම ජීවිතයේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන අන්‍යයන්ට උපකාර කිරීම, පරාර්ථකාමීත්වය සහ අධ්‍යාත්මික පෝෂණය තම හරපද්ධතීන්වලට ඇතුළත් කර ගන්නා ලෙසද මම මේ රටේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි...” යැයිද ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සිය රාමසාන් පණිවිඩයෙන් පවසයි.