INAP අන්තර් ජාතික මහා සමුළුව මෙවර කොළඹ දී.

අනුබද්ධිත වරායන් හි අන්තර් ජාතික සාමුහිකත්වය හෙවත් International Network of Affiliated Ports (INAP) 19 වන මහා සමුළුව (General Assembly) හා සම්මන්ත‍්‍රණය (Symposium) පැවැත්වීමේ සත්කාරකත්වය මෙවර හිමි වී ඇත්තේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියටයි. '' INAP සංවිධානය තුළින් සමුද්‍රීය සහසම්බන්ධතාවය හා ආර්ථික සමෘද්ධිය ළඟා කරගැනීම '' මෙවර එහි තේමාව වී තිබේ. මේ සඳහා වන ප‍්‍රථම සාකච්ඡාව 2017 අපේ‍්‍රල් මස 24 වැනිදා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජපානයේ කෝචි වරායේ පිහිටි INAP ලේකම් කාර්යාලයෙහි නියෝජිත පිරිසක් සමග පැවැත්විණි. ඒ සභාපති කාර්යාලයේදීය. එහිදී ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා සහ ජපානයේ කෝචි වරායේ අධ්‍යක්‍ෂ (වරාය ප‍්‍රවර්ධන) යන මහත්වරුන් අතර සමරු ඵලක හුවමාරු කිරීමද සිදුකෙරිණි. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ සරත් කුමාර පේ‍්‍රමචන්ද්‍ර, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ ජානක කුරුකුලසූරිය, ප‍්‍රධාන කළමණාකරු ව්‍යාපාර ප‍්‍රවර්ධන උපුල් ජයතිස්ස ඇතුළු මහත්ම මහත්මීන් රුසක් සහභාගී විය.

2017 අගෝස්තු මස 30 හා 31 යන දෙදින තුළදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයෙහි පැවැත්වීමට නියමිත මෙම සමුළුව හා සම්මන්ත‍්‍රණයට ශ‍්‍රී ලංකාව, චීනය, ජපානය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ දකුණු කොරියාව යන රටවල් වල සාමාජික වරායන් සහභාගී වනු ඇත. මෙවර සත්කාරකත්වය ලැබී ඇති ශ‍්‍රී ලංකා වරාය අධිකාරියෙහි සභාපති ධම්මික රණතුංග මහතා හට 2017 වර්ෂයේ INAP සභාපතීත්වය හිමිවීමට ද නියමිතය.