ඇමරිකානු චීන වෙළඳ යුද්ධය, රුසියානු සම්බාධක අපේ කර්මාන්තයට විශාල පහරක්

“ගෝලීය නාවික වෙළඳ ක්ෂේත්‍ර‍ය වර්තමානය වන විට අභියෝග රාශියකට මුහුණු දෙමින් සිටිනවා.එම නිසා ඒ කර්මාන්තයේ වර්ධනය සීමා වෙලා තියෙනවා.  ඇමරිකානු චීන වෙළඳ යුද්ධය, රුසියානු සම්බාධක අපේ කර්මාන්තයට විශාල පහරක්. ඒ නිසා ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය අපට ඉදිරියට යන්න යම් යම් බාධා ඇති කරනවා. ජාත්‍යන්තර තලයේ පවතින මෙවැනි අස්ථාවර භාවයන් ඉදිරියේ දී අඩුවෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.

ගෝලීය වශයෙන් මෙසේ කඩා වැටෙද්දී කොළඹ වරාය නොසෙල්වී ඉන්න අවශ්‍ය උපාය මාර්ගික තීරණ ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා කොළඹ වරාය තවම සූදානම් නැහැ. ඒකට හේතුව මේ සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය තුළ නිවැරදි තීන්දු තීරණ නොගැනීම. මේ යටතේ නැගෙනහිර පර්යන්තය තීරණ ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කළා. අපි එහි සංවර්ධනය සඳහා ජපානය හා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළා. එම ව්‍යාපෘතිය මගින් විශාල නෞකා මෙහෙයවීමේ හැකියාව ලැබෙනවා. අපි හැකි ඉක්මනින් අවශ්‍ය තීරණ අවශ්‍ය වෙලාවට අරගෙන නැගෙනහිර පර්යන්තයෙහි කටයුතු සිදු කරනවා. ඒ වගේම කොළඹ වරාය සුහුරු වරායක් බවට පත් කිරීමට අවශ්‍ය තීරණ ගෙන මේ කලාපයේ කාර්යක්ෂම හා ඵලදායීම වරාය බවට පත්කිරීමට අපේක්ෂා කරනවා.

අපි ජර්මනියේ ජාත්‍යන්තර සේවා සැපයුම් සම්මන්ත්‍ර‍ණයට සහභාගී වන අවස්ථාවේ දී ශ්‍රී ලංකාව පාස්කු ඉරිදා ප්‍ර‍හාරයෙන් පසුව විශාල පසුබීමකට ලක්ව තිබුණා. ව්‍යාපාර කඩා වැටුණා. නමුත් අපි නැවත වේගයෙන් ආර්ථිකය ගොඩනගාගෙන දැන් ඉදිරියට යන්න පටන් අරන් තියෙනවා. මේ වනවිට රටේ ආරක්ෂිත  තත්ත්වය තහවුරු කරන්න නැවත අපිට හැකි වෙලා තියෙනවා.....” යනුවෙන් වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ අද (29) පෙරවරුවේ කොළඹ කින්ස්බරි හෝටල් පරිශ්‍රයෙහි පැවැති ජර්මන් - ශ්‍රී ලංකා සේවා සැපයුම් (Logistic) සම්මන්ත්‍ර‍ණයෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිනි.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් පළමු වරට පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සඳහා ජර්මනියේ ප්‍රවාහන හා ඩිජිටල් යටිතල පහසුකම් උප අමාත්‍ය, අතිගරු Steffen Bilger මහතා, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු නාවික වෙළඳ ක්ෂේත්‍රයේ ප්‍ර‍වීණයක් රැසක් එක්වූහ.

‘‘ශ්‍රී ලංකාවේ තිබෙන හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායන් වණිජමය වශයෙන් ගත්තහම ඉතාම වැදගත් ස්ථානයක පිහිටා තිබෙනවා කියන්න පුළුවන්. එමනිසා එම වරායන් මගින් අපේ ජර්මානු ව්‍යාපාර විශාල ප්‍රයෝජනයක් ගැනීමට අපේක්ෂා කරනවා. එම වරායන් සංවර්ධනය කිරීම සඳහා සහයෝගය දැක්වීමටත්, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දායකත්වය ලබාදීමටත්, නව ආයෝජන අවස්ථා එම වරායන් වෙත ගෙන ඒමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම දකුණු අසියාවේ විශාලතම වරාය වන කොළඹ වරායෙහි සංචාරයක නිරතවීමටත් අපේක්ෂා කරනවා....” යනුවෙන් ජර්මනියේ ප්‍රවාහන හා ඩිජිටල් යටිතල පහසුකම් උප අමාත්‍ය, Steffen Bilger මහතා පැවසීය.