යහපාලනය දැකිය හැකි හොඳම තැන වරාය භූමියයි - වැඩබලන වරාය සහ නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

“වරාය අධිකාරියේ ඉතිහාසයේ ගෙවුණ වසර තරම් ප්‍රවර්ධනයක් ඇති වුණ වෙන වසරක් තවත් නෑ. ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා, දිවංගත අමාත්‍යතුමා මේ කටයුත්ත ආරම්භ කරාට පස්සේ ගෙවුණු හොඳම වර්ෂය තමයි පහුගිය වර්ෂය. අපි 37 වැනි වසර සමරන්නේ ඒ අභිමානයෙන්. වරාය අධිකාරියේ වගේ ඉහළ වැටුප් තලයක ඉන්න පිරිසක් වෙන කොහෙවත් නෑ. ඔබේ සේවයට සරිලන දීමනාවක් ගෙවමින් තමයි අපි වරායේ සියලු අභියෝග ජය ගන්නේ.  විශේෂඥ දැනුම තියෙන නිලධාරී මණ්ඩලයක් සහ සේවක පිරිසක් මේ අධිකාරියේ සිටිනවා. ඔබයි මේ අධිකාරියේ ජීවනාලිය. ඔබයි මේ අධිකාරියේ ශක්තිමත් දම්වැල. මේ ආයතනයට කාර්මික සාමයක් අවශ්‍යයි. හොඳ සහජීවනයක් අවශ්‍යයි. වරාය අධිකාරියේ වැඩ වර්ජන කර බැහැ. වරායේ සේවකයෝ වැඩ වර්ජන කරලා බැහැ.....” යැයි ගරු වැඩබලන වරාය සහ නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37වැනි සංවත්සර සැමරුම් උත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37වැනි සංවත්සර සැමරුම් උත්සවය අද පැවැත්වුණේ කොළඹ වරාය චෛත්‍ය පරිශ්‍රයේදීයි. සර්ව ආගමික වතාවත් සිදුකරමින් පැවැති එම සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ ගරු වැඩබලන වරාය සහ නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා අවධාරණය කළේ වත්මන් රජයේ යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන හොඳම තැන වරාය භූමිය වන බවයි.

“පසුගිය මැතිවරණයේදී අර්ජුන රණතුංග ඇමතිතුමා තරග කළේ එක්සත් ජාතික පක්ෂයෙන්, මම තරඟ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඇමතිතුමාත් නියෝජ්‍ය අමාත්‍යතුමාත් පක්ෂ දෙකක. නියම යහපාලනය. මම විශ්වාසයෙන් කියනවා අර්ජුන රණතුංග මැතිතුමා හොරෙක්, වංචාකාරයෙක්, දූෂිතයෙක් නෙවෙයි. ලොකයේ ශ්‍රී ලංකාව නොදන්නා සමහර තැන්වල අර්ජුන රණතුංග කියන නම දන්නවා. ක්‍රීඩකයා ගැන දන්නවා. මම විශ්වාස කරනවා එතුමන්ටත් අපිටත් එකතු වී අපේ රටේ වරායන් ආසියාවේ හොඳම වරායන් බවට පත් කරන්න පුළුවන් වෙයි කියා. ඒ අතරින් ගාල්ල වරාය සංචාරක වරායක් විදිහට සංවර්ධනය කිරීමේ වැඩපිලිවෙළ මේ වනවිට අපි වේගවත් කර තිබෙනවා.  කොළඹ වරාය ගැන මගෙන් කවුරුත් වැඩිය අහන්නේ නැහැ. මගෙන් අහන්නේ ගාල්ල වරායට මොකද කරන්නේ කියලා. ගාල්ල වරාය හැදුවොත් හොඳයි. නැති වුණොත් මම කපෝතී. මට ගාල්ලේ යන්න ලැබෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා අපිට එම අභියෝගත් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා......” යැයිද වැඩබලන අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා පැවසීය. සැමරුම් උත්සව සභාව අමතමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති දම්මික රණතුංග මැතිතුමා පැවසුවේ කෙටි කාලයක් තුළ 11% දියුණුවක් පෙන්නුම් කළ ලෝකයේ එකම වරාය කොළඹ  වරාය වන බවයි. නූතන තරගකාරිත්වයට මුහුණ දීමට හැකි අයුරින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව මානව සම්පත් සැලැස්මක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවද ගරු සභාපති දම්මික රණතුංග මැතිතුමා පැවසීය.

 “සේවකයින් 9600 ක් සේවය කරන ආයතනයක මානව සම්පත් සැලැස්ම සතියකින් දෙකකින් කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. සෑම සේවක මහත්ම මහත්මීන්ටම සාධාරණයක් වන විදියේ මානව සම්පත් සැලැස්මක් අපිට අවශ්‍යයි. ඒ නිසා රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කරමින් සිටිනවා. මේ කෙටි කාලයේදී අපි ලබාගත් ජයග්‍රහණය ගැන අපි සතුටු විය යුතුයි. නමුත් යම් යම් මත ප්‍රකාශ සිදු වෙනවා. ඒ ගැන අපි කලබල විය යුතු නැහැ. ඇත්තටම අපිට කරන්න තියෙන කාර්යයන් අවසන් වී  නැහැ. අපි මේ ආරම්භ කළේ දීර්ඝ ගමනක්. අපිට ලෝකය සමඟ විශාල තරගකාරීත්වයක් තියෙනවා. මේ තරගකාරීත්වයට මුහුණ දෙන්න නම් අපි මීට වඩා වේගවත්ව ගමන් කළ යුතුයි....” යැයිද ගරු වරාය සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය. මෙම අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.