වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා අභිනවයෙන් වැඩ අරඹයි.

වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා අද දින (21) සිය අමාත්‍යංශයේ වැඩ කටයුතු අභිනවයෙන් ආරම්භ කළේය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍ර‍කාශ කර සිටියේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රැසක් අමාත්‍යධුර දැරූ මෙම අමාත්‍යංශය ශ්‍රී ලාංකේය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ආයතනයක් බවයි. පුළුල් විෂය පථයක් සහිත මෙම අමාත්‍යංශයෙහි කටයුතු කිරීමේදී වරාය සහ නාවික ක්ෂේත්‍ර‍ය පමණක් නොව ඊට අදාළ අනිකුත් ක්ෂේත්‍ර‍යන් පිළිබඳව ද අවධානය යොමු කරමින් ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීම තම අභිප්‍රාය වන බවත් ඒ සදහා සියලු දෙනා කණ්ඩායමක් ලෙස අත්වැල බැඳගත යුතු බවත් එතුමා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් එල්. පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති අචාර්ය පරාක්‍ර‍ම දිසානායක, කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න, රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල ගමගේ, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිල‍ධාරීන් සහ සේවක සේවිකාවන් රැසක් සහභාගී විය.

එහිදී සාගල රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍ර‍කාශ කර සිටියේ,  “ රටට විශාල හානියක් වෙච්ච දීර්ඝ දේශපාලන අර්බුදයක් මේ රටේ පවැතුණා. දින 51 ක් පමණ මේ රටේ කටයුතුවල පසුබෑමක් ඇතිවුණා. විශේෂයෙන් අපේ ආර්ථිකයට මෙම තත්ත්වය විශාල වශයෙන් හානිකර වුණා. එම කාලසීමාවෙන් පසුව නැවත අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමා දිවුරුම් දුන්නා. ඉන් අනතුරුව ඊයේ (20) කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නා. අගමැතිතුමා දිවුරුම් දීමෙන් පසුව අමාත්‍යවරු සහ අමාත්‍යවරියන් හමුවීමේ දී එතුමා ප්‍ර‍කාශ කර සිටියේ වහාම අමාත්‍යංශයන්හි වැඩ කටයුතු ආරම්භ කරන ලෙසයි. ඒ අනුව අප අද දින (21) මේ අමාත්‍යාංශයෙහි වැඩ කටයුතු ආරම්භ කළා. මෙය රටට ඉතාම වැදගත් වන අමාත්‍යංශයක්. පසුගිය කාලයේ මෙම අමාත්‍යංශයෙන් රටේ භාණ්ඩාගාරයට විශාල මුදල් ප්‍ර‍මාණයක් ලබාදුන්නා. මෙය රටේ ආදායමට විශාල දායකත්වයක් ලබාදුන් වැදගත් අමාත්‍යංශයක්. වරාය සහ නාවික ක්ෂේත්‍ර‍ය එදාට වඩා අද පුළුල් වී තිබෙනවා. හැම දෙයක්ම වාගේ නවීකරණය වී තිබෙනවා. කාලයත් සමග ඉදිරියට යන්නත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කරලා තිබෙනවා.  එසේම මින් පෙර මේ අමාත්‍යංශයෙහි පක්ෂ කිහිපයක ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කටයුතු කර තිබෙනවා. මට මතකයි ලලිත් ඇතුළත්මුදලි ඇමතිතුමාගේ කාලය. එතුමා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ එක්සත් ජාතික පක්ෂ රජය කාලයේ මේ අමාත්‍යංශයේ අමාත්‍යධුරය හෙබවූවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අෂ්රෆ් ඇමතිතුමා මේ අමාත්‍යාංශයේ අමාත්‍ය ධුරය දැරුවා. ඒ වගේම මංගල සමරවීර අමාත්‍යවරයා, රවුෆ් හකීම් ඇමතිතුමා, අර්ජුන රණතුංග ඇමතිතුමා, මහින්ද සමරසිංහ ඇමතිතුමා මෙම අමාත්‍යංශයේ කටයුතු කරලා තිබෙනවා. මේ අමාත්‍යවරු සියලු දෙනා මෙම ආයතනයේ වැඩ කටයුතු අදාළ නිලධාරීන් සමග, සේවක මණ්ඩලය සමග සාර්ථකව, රටට වැඩදායී ලෙස  සිදු කළා.

එම නිසා එම ආකාරයෙන් සහ ඊටත් වඩා සාර්ථක අන්දමින් කටයුතු කිරීමට මටත් ඔබටත් අද පැවරී තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනා එම කටයුතු එකතු වී කණ්ඩායමක් ලෙස ඉටු කළ යුතුයි.  ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඒ අදාළ පර්යන්තයන්හි කටයුතු දියුණු කරන්න තිබෙනවා. ඒ වගේම වරාය හා නාවික ක්ෂේත්‍ර‍ය දෙස පුළුල් ලෙස බලා එය සංවර්ධනය කිරීමට අවශ්‍යයි. ඔබ දියුණු විය යුතුයි. ඔබේ රට දියුණු විය යුතුයි. අපේ රටේ ජනතාව දියුණු විය යුතුයි. මේ හැමදේටම දායක වන ලෙස තමයි අප වැඩ කටයුතු සිදු කළ යුත්තේ. ඒ නිසා අපි කවුරුත් එකතු වී කටයුතු කරමු. අපි හරි තීන්දු ටික ගනිමු. හරි දේ කරමු. ප්‍ර‍මාද නොවී කටයුතු කරමු. එම ඉල්ලීම තමයි මා මේ අවස්ථාවේ සිදු කරන්නේ....” යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍ර‍කාශ කළේය.