කොළඹ වරායේ පෞද්ගලික වැඩබිමේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ.

කොළඹ වරාය පරිශ්‍රයේ පෞද්ගලික වැඩබිමක අද හටගත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි. එම වැඩ බිමේ ගොඩබසා තිබූ භාවිතයෙන් ඉවත් කළ රබර් නළ අට්ටියක් ආශ්‍රිතව මෙම ගින්න ඇති වූයේ අද පස්වරුවේ 1.30ට පමණය. මෙම රබර් නළ මුහුදේ සිට ගොඩබිමට වැලි පොම්ප කිරීම සඳහා යොදා ගනී.

මෙම ගින්න ඇති වූයේ කොළඹ වරායේ නෞකා මෙහෙයුම් සීමාවෙන් පිටතය. ගින්න හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දෛනික මෙහෙයුම්වලට හෝ කොළඹ වරායේ පර්යන්තවල දෛනික මෙහෙයුම්වලට හෝ කිසිදු බාධාවක් සිදු වූයේ නැත. ගින්න හේතුවෙන් කොළඹ වරායේ  දේපොළවලට වූ හානියක් හෝ පුද්ගල හානියක් හෝ වාර්තා නොවේ. ගින්න නිවා දැමීම සඳහා කොළඹ වරාය පරිශ්‍රයේ සියලු අංශ සක්‍රීයව ක්‍රියා කළේය.