කොළඹ වරායේ CFS 1 ගුදම සර්ව ආගමික ආශිර්වාදය සමඟින් රාජකාරී අරඹයි.

“CFS 1 ගුදම නැවත ප්‍රතිසංස්කරණය කිරීම නව රජය යටතේ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මාස 08 ක් වැනි ඉතාමත් කෙටිකාලයකදී අපේම ශක්තියෙන් අපේ ඉංජිනේරු මහත්වරුන්ගේ ඉංජිනේරු ඥානය සහ කාර්මික ශිල්පීන්ගේ කුසලතාවන්හි ශක්තියෙන් ඉදිවුණා. එය වරාය අධිකාරියේ 37 වැනි සංවත්සරය නිමිති කර  අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කෙරුණා. එම විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඉතා ආගමික සහජීවනයෙන් ජීවත් වන පිරිසක් හැටියට සර්ව ආගමික කටයුතු අප විසින් ක්‍රියාත්මක කළා.  ඊයේ(11) පස්වරුවේ ආරම්භ වූ ආගමික කටයුතු  වලට අනුව පළමුවෙන්ම ගරුතර මහා සංඝරත්නය වැඩම කරවා සර්ව රාත්‍රික පිරිත් සඤ්ජායනය සිදු කෙරුණා....” යැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා සැපයුම් අධ්‍යක්ෂ උපාලි සොයිසා මහතා පැවසීය. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති මෙම සර්ව රාත්‍රික පිරිත් පිංකමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මැතිතුමා, කලමනාකරණ අධ්‍යක්ෂ සරත්කුමාර ප්‍රේමචන්ද්‍ර මහතා, අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් රැසක් එක්වූහ.

1985 ඉදිවූ බහළු මෙහෙයුම් මධ්‍යස්ථානය 2013 වසරේදී නැව් භාණ්ඩ සමඟ සම්පූර්ණයෙන් විනාශයට පත්විය. ඉන් අනතුරුව නව රජය යටතේ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ අධීක්ෂණය යටතේ මෙහි නව ඉදිකිරිම් කටයුතු සිදු කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37 වැනි සංවත්සරය නිමිති කරගනිමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් CFS 1 බහළු මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කෙරුණේ පසුගිය 10වැනිදාය.  

පළමු අධියරේ ඉදිකිරීම් කටයුතු නිමවීමත් සමඟ එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ආගමික ආශිර්වාදය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සර්ව ආගමික වතාවත් සිදුකිරීම ආරම්භ කරන ලද්දේ ඊයේ පස්වරුවේය. ඒ අනුව සර්ව රාත්‍රික පිරිත් සඤ්ජායනයෙන් අනතුරුව අද (12) පෙරවරුවේ මහා සංඝරත්නය වෙත සංඝගත දක්ෂිනාවන් පිළිගැන්වූ අතර ඉන්පසු අන්‍ය ආගමික පූජකවරුන් ද කැඳවා  හින්දු, කතෝලික සහ ඉස්ලාම් දහමේ ආශිර්වාද පූජාවන් සිදුකරන ලදී. සර්ව රාත්‍රික පිරිත් සඤ්ජායනය ඇතුළු සියලු ආගමික කටයුතු පූර්ණ වශයෙන් සංවිධානය කරන ලද්දේ වරාය අධිකාරියේ සේවා සැපයුම් කොට්ඨාසය වන අතර අංකාරවත් පිරිත් මණ්ඩපය දර්ශනීය අන්දමින් නිර්මාණය කරන ලද්දේ ඉංජිනේරු කොට්ඨාසයයි. මෙසේ ලබාගත් ආශිර්වාදයෙන් ඉදිරියේදී CFS 1 බහළු මෙහෙයුම් මධ්‍යස්ථානයෙහි සුරක්ෂිත බව අපේක්ෂා කරන අතර එතුළින් ගනුදෙනුකරුවන්ට ඉතා ඉහළ මට්ටමකින් ගුණාත්මක, ඵලදායී සහ කාර්යක්ෂම සේවාවක්  ලබාදීම  මූලික පරමාර්ථය වේ.