පුද්ගලයින් නොව තම ආයතනය ආරක්ෂා කළ යුතුයි - ඇමති අර්ජුන පවසයි.

පුද්ගලයින් නොව තමන් සේවය කරන ආයතනය සුරැකීමට සේවකයින් කැපවිය යුතු බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ පසුගියදා පැවති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක නියාමකවරුන්ගේ  විසිරයාමේ උත්සවයට සහභාගීවෙමිනි.  එතුමා එහිදී වැඩිදුරටත් පැවසූයේ ඕනෑම පුද්ගලයෙක් වරදක් සිදුකරයි නම් තනතුරු ගැන නොසිතා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට ආයතනයේ ආරක්ෂක අංශයට බලය ඇති බවයි.

“රටක ප්‍රධානම අංශය වෙන්නේ ආරක්ෂක අංශය. වරායෙත් ප්‍රධානම අංශය වන්නේ ආරක්ෂක අංශය. ආරක්ෂක නියාමකවරුන් ලෙස ඔබ සියලුදෙනාට විශේෂ වගකීමක් තියෙනවා. සියලු දෙනාට නීති පද්ධතියක් තියෙනවා. ඒ අනුව ක්‍රියාත්මක විය යුතුයි. ඔබ සියලුදෙනාට පුළුවන් ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයා සහ සභාපතිවරයා ඇතුළු ඕනෑම කෙනෙකුගේ වාහන පරීක්ෂා කරන්න. ඒවගේම ඕනෑම කෙනෙක් වරදක් කරනවා නම් එය අල්ලන්න ඔබ සියලු දෙනාට අයිතිය තියෙනවා. පසුගියකාලයේ මේ දේවල් කරන්න දුන්නේ නැහැ. මම අද ආරක්ෂක අංශයේ ගේට්ටුවෙන් ඇතුළට යනවිට මගේ වාහනය නතර කරලා වීදුරුව පහත් කරලා කතා කරලා යන්නේ. අපි එවැනි ආදර්ශයක් දුන්නේ නැතිනම් අපිට මේ රට හදාගන්න ලේසි වෙන්නේ නැහැ. පසුගියකාලේ මට මතකයි ආරක්ෂක අංශයේ සිටින ගොඩක් දෙනෙකුගේ  ක්‍රියා කලාපය වෙනස් වුණා. මේ ආයතනයට ආදරෙන් වැඩ කරන්න පටන්ගත්තා. හොරකම දූෂණය ගොඩක් දුරට අඩු වුණා. මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන්න ඔබ සියලු දෙනා ප්‍රධානීන් ලෙස වැඩ භාරගත යුතුයි. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙම ආයතනය ආරක්ෂා කිරීමයි. මෙය ආරක්ෂා කිරීමේ වගකීම තියෙන්නේ ඔබ සියලු දෙනාටයි......” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.                                                   

මෙම විසිර යාමේ උත්සවයේදී ගරු අමාත්‍යතුමාට ආචාර දැක්වීමෙන් අනතුරුව උපරිම දක්ෂතා දැක්වූ නිලධාරීන්ට සම්මාන පිරිනැමීමද සිදු විය. ඒ ගරු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මැතිතුමාගේ සුරතිනි. මෙම අවස්ථාවට ගරු වරාය සහ නාවිතක  නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී ජයම්පති, විධායක අධ්‍යක්ෂ සංජීව විජේරත්න, අතිරේක කලමනාකාර අධ්‍යක්ෂ ජානක කුලකුලසූරිය ඇතුළු උසස් නිලධාරීන් සහ වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ද නවක ආරක්ෂක නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයින්ද එක්වූහ.