බහලූ මෙහෙයුම් මිලියන 6 සීමාව පසු කරමින් කොළඹ වරාය බහලු මෙහෙයුමේ විශිෂ්ටත්වයට

කොළඹ වරාය බහලු මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකට එළැඹෙමින් බහලු මෙහෙයුම් මිලියන 6 සීමාව ඉක්මවීමට පසුගියදා සමත් වි ය. එම විජයග්‍රාහී අවස්ථාව සමරමින් ජය බහලු පර්යන්තයේ පැවැති විශේෂ උත්සවයට එක්වූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සභාව අමතමින්,

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, CICT, SAGT පර්යන්ත සමග එකට එකමුතුව තරගකාරී හැඟීමෙන් බැහැරව කොළඹ වරාය ලෝක බහලු මෙහෙයුම් වරායයන් අතර, ඉතා ඉහළින් ඔසවා තැබීමට කටයුතු කරන බවත්, ඒ අනුව අද දවසේ මෙම ජයග්‍රහණය උදෙසා උර දුන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ අනෙකුත් පර්යන්ත වල පූර්ණ දායකත්වය හා නෞකා මෙහෙයුම් ක්‍රියාවලියට සම්බන්ධ සියළු පාර්ශවයන් වෙත තමාගේ ගෞරව ප්‍රණාමය පුද කරන බවත් පැවැසී ය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානයක මහතා උත්සව සභාව අමතමින් වරාය ශිෂ්ඨාචාරයේ තවත් ඓතිහාසික සංධිස්ථානයක් වෙත පියනැගීමට හැකිවීම පිළිබඳව දැඩි සතුටට පත්වන බවත්, මේ අවස්ථාවට සහාය දැක්වූ සැමට ප්‍රණාමය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවත් පැවසී ය. තව ද නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමත් සමග විශිෂ්ඨ ඵලදායිතාවකින් යුතුව කටයුතු කරමින් කොළඹ වරාය වෙත විශාල නෞකා ආකර්ශනය කර ගැනීමට කටයුතු කරන බවත් පැවසී ය.

කොළඹ වරාය බහලු මෙහෙයුම් ඉතිහාසය දක්වන පරිදි කොළඹ වරාය සිය ප්‍රථම බහලුව 1973 වර්ෂයේ දී මෙහෙයවන ලදී. අනතුරුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ජයබහලු පර්යන්තයේ ඉදිකිරීම අරඹන ලද අතර, 1985 වර්ෂයේ දී එහි I වන අදියර ද, 1987 වර්ෂයේ දී II වන අදියර ද, 1995 සහ 1996 වර්ෂවල පිළිවෙළින් III සහ IV වන අදියරයන් ද ඉදිකිරීම නිමා කරන ලදී. 1999 වර්ෂයේ දී කොළඹ වරාය බහලු මෙහෙයුම් ක්‍රියාවලියට SAGT පර්යන්තය ද එක්විය. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක ආයෝජනයෙන් යුතුව ඉදි කළ කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හෙවත් වත්මන් දකුණු කොළඹ වරාය බහලු පර්යන්ත තුනකින්  සමන්විතව අති විශාල නෞකා බහලු මෙහෙයුම් කටයුතු ඉලක්ක කරගනිමින් ඉදි වි ය. ඒ යටතේ ඉදි වූ පළමු බහලු පර්යන්තය ලෙස කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්තය (CICT) ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජනයෙන් රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ඉදි කිරීම සිදු කර, මෙහෙයවා නැවත පවරා දීමේ (BOT) පදනමෙන් සිදුකල ව්‍යාපෘතිය කි. එය 2013 වර්ෂයේ සිට බහලු මෙහෙයුම් ක්‍රියාවලියට එක්ව සිටියි. මෙලෙස නව පර්යන්තය ඉදිකිරීම ඇතුළු පුළුල් යටිතල පහසුකම් ක්‍රියාදාමයක් කොළඹ වරාය තුළ ස්ථාපිත වීම හා රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස මෙහෙයුම් ක්‍රියාවලිය සක්‍රීයවීම තුළ බහලු මෙහෙයුම් ධාරිතාවේ ප්‍රශස්ත වර්ධනයක් සිදුව තිබේ.

කොළඹ වරාය සිය බහලු මෙහෙයුම් ක්‍රියාවලිය තුළ බහලු මිලියන 1 සීමාව ඉක්මවීමට 1995 වර්ෂයේ දී සමත්වේ. අනතුරුව වසර 9 කට පසුව 2004 වර්ෂයේ දී SAGTපර්යන්තය ද හා එක්ව බහලු මිලියන 2 සීමාව ඉක්මවන කොළඹ වරාය 2006 වර්ෂයේ දී බහලු මිලියන 3 සීමාව පසුකරයි. අනතුරුව 2010 වර්ෂයේ දී බහලු මිලියන 4 සීමාව ද CICT පර්යන්තය සමග එක්ව 2015 වර්ෂයේ දී  බහලු මිලියන 5 සීමාව ද ඉක්මවීමට කොළඹ වරාය සමත් වේ.

ශ්‍රී ලාංකේය වරාය ක්ෂේත්‍රය තුළ බහලු මෙහෙයවීම මිලියන 6 සීමාව ඉක්මවීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තය මෙන්ම සහෝදර පර්යන්තයෙන් SAGT,CICT පර්යන්තයන්ගේ දායකත්වය මෙන්ම එහි උපාය මාර්ගික අලෙවිකරණ ක්‍රමවේදය ද වෙසෙසින් කැපී පෙනේ.

ජාත්‍යන්තර තත්ත්වයේ සේවා සපයමින් සේවාලාභීන් උපරිම තෘප්තිමත් භාවයට පත්කරමින් අවම කාලයකින් නෞකා සේවාවන් සපයමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්වකීය භූමියේ වටිනාකම් මැනවින්  උපයුක්ත කරගනිමින් සහෝදර  පර්යන්තයන්ගේ සුසංයෝගී දායකත්වය තුළින් ප්‍රධාන නැව් සේවා හා පෝෂිත නැව් සේවා කොළඹ වරාය වෙත ආකර්ෂණය කර ගැනීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටියි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මේ සා සුවිසල් ජයග්‍රහණයෙහිලා  වත්මන් රජයේ වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ විශිෂ්ඨ නායකත්වයත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාගේ නිසි කළමණාකාරීත්වයත් වරාය මෙහෙයුම් ක්‍රියාවලියට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ගේ යහපත් නායකත්වය තුළින් පසුගිය වසරවලට සාපේක්ෂව කඩිනම් සංවර්ධනයක් කරා ළඟාවීමට හැකි ව තිබේ.

ශ්‍රී ලංකාව සමුද්‍රකි කලාපයේ කේන්ද්‍රය බවට පත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල සක්‍රීය කරමින් රට වටා පිහිටි සියලු වාණිජ වරායයන්  සංවර්ධනය කිරීමට විධිවිධාන  යොදමින්  පිහිටීමේ උපාය මාර්ගික ශක්‍යතාව මැනවින් උපයුක්ත කර ගනිමින් ඒ තුළින් ශ්‍රී ලාංකේය ආර්ථිකය ශක්තිමත් වර්ධනයට ඉඩකඩ සලස්වමින් වරාය ක්ෂේත්‍රයේ සාධනීය සංවර්ධනයක් කරා පිය එසවීමටත් ඒ තුළින් වරාය ආයෝජන අවස්ථා හා සංචාරක ප්‍රවර්ධන අවස්ථා පුළුල් කිරීමටත් අපේක්ෂිත ය.

කොළඹ වරායේ බහලු මෙහෙයුම් මිලියන 6 සීමාව ඉක්මවීමේ විජයග්‍රාහි අවස්ථාව සමරමින් පැවති උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති පී.ජී.දසනායක, කළමණාකාර අධ්‍යක්‍ෂක එච්.ජී.ඒ.එස්.ප්‍රේමචන්ද්‍ර, SAGT, CICT පර්යන්තයන්හි උසස් නිලධාරීන් මහත්ම මහත්මීන්, නැව් සේවාවන්හි ඒජන්තවරුන් සහ නිලධාරීන්, බහලු මෙහෙයුම් ආයතන නියෝජිතයන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරි මහත්ම මහත්මීන් සහ සේවක පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.