Aris-13 නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය මුදාගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නවා - වැඩබලන ගරු වරාය සහ නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා පවසයි.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් බවට සැක කෙරෙන Aris - 13 නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය බේරාගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව වැඩබලන ගරු වරාය සහ නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ අද(16) පස්වරුවේ වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයෙහි පැවැති මාධ්‍ය හමුවකදීය.  Aris 13 නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ඥාතීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. මෙම මාධ්‍ය සාකච්ඡාවට වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා, Aris 13 නෞකාවට මිනිස් බල පහසුකම් සැලසූ ශ්‍රී ලංකාවේ A J Shipping ආයතනයේ ප්‍ර‍ධානී ටිරෝන් ප්‍ර‍නාන්දු මහතා ඇතුළු නිලධාරීන් රැසක්ද සහභාගී විය.

“ARIS - 13 දරණ  ( Bunkering Tanker - තෙල් රැගෙන යන) වෙළඳ නෞකාව  මාර්තු මස 09 වැනි දා ඩිජිබුටි (Djibouti) වලින් පිටත් වෙලා සෝමාලියාවේ මොගඩිෂු (Mogadishu) දක්වා යාත්‍රා කරමින් සිටින අතරතුරේදී මාර්තු13 දින ජාත්‍යන්තර වේලාවෙන් 11.58 (UTC) පමණ අවි සවිකර ඇති යාත්‍රා දෙකක් වේගයෙන් තම නෞකාව වෙත පැමිණෙන බව ප්‍රංශ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (MRCC-France) දැනුම් දීලා තිබෙනවා. ඒ අවස්ථාවේදී  ප්‍රංශ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ නෞකාව අතර  (MRCC-France)   පණිවුඩ හුවමාරුව ද ඇණහිටි බව ඒ මධ්‍යස්ථානය පවසනවා.

මේ නෞකාව දැනට සෝමාලියානු මුහුදු තීරයේ නැංගුරම් ලා තියෙන බවයි වාර්තා වෙන්නේ. මෙය ජනවාරි 27 වැනිදා ශ්‍රී ලංකා ධජය යටතේ කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙනවා. ඉන්පසුව ජනවාරි 28 වැනිදා තමයි කොළඹින් ඩිජිබුටි (Djibouti) බලා නෞකාව ගමන් අරඹලා තිබෙන්නේ. නමුත් එදින නෞකාවේ ධජය කොමරූස් (Comoros) ධජයට මාරු කරලා තියෙනවා.

දැන් පවතින තත්ත්වය අනුව මේ නෞකාව හඳුනා නොගත් කොල්ලකරුවන් පිරිසකගේ ග්‍ර‍හණයට ලක් වෙලයි තියෙන්නේ.  ශ්‍රී ලාංකික නාවිකයන් 08 දෙනෙකු පමණ මේ නෞකාවේ ඉන්නවා.  එම පිරිස බේරාගැනීමට අවශ්‍ය පියවර ඉක්මනින් ගත යුතුයි. ඒ සඳහා මීට අදාළ ආයතන සාකච්ඡාවන් පැවත්වූවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ITF ආයතනය හා අදාළ නෞකාව සඳහා නාවිකයින් බඳවාගැනීම සිදු කරන ලද නැව් නියෝජිත ආයතනය වන AJ Shipping ආයතනය යන පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින්  මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ඊයේ(15) පැවැත්වූයේ වෙළඳ නාවික ලේ‍කම් කාර්යාලයේදීයි.

මෙහිදී ග්‍ර‍හණයට ලක් වූ පිරිස සුරක්ෂිතව ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැණුනා. ශ්‍රී ලංකා රජය හැටියට අදාළ අමාත්‍යාංශ එක්ව කරුණු සොයාබලා ඉදිරි දින කිහිපය ඇතුළත අවශ්‍ය තීරණ ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වනවිට කප්පන් මුදලක් ඉල්ලා ඇති බවක් වාර්තා වෙනවා. නමුත් එය ස්ථිර වශයෙන්ම අපට කියන්න අපහසුයි. ඒ පිළිබඳවත් අපි ඉදිරියේදී තීරණයක් ගන්නවා. මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට ලක්කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමයි අපේ බලාපොරොත්තුව.....” යැයිද නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා වැඩිදුරටත් පැවසීය. 

මෙම ග්‍ර‍හණයට හසු වූ පිරිසගේ විස්තර ඇතුළත් ලේඛනය පහත දැක්වේ.

No

Rank

 

Full Name

01

Captain

Nicholas Sebamalai Anthony Thangenthren

02

Chief Officer

Kulappu Thanthirige Premnath Ruwan Sampath

03

Third Officer

Dileepa Nishan Anuranga Ranaweera

04

Bosun

Bulathsinhalage  Sunil Perera

05

AB

Vidana pathirana Lahiru Indunil

06

Chief Engineer

Jayantha Kalubowila

07

Third Engineer

Lokuthota Hewage Janaka Shamendra

08

Cook

Appukutti Shanmugam