ගාලු වරායේ සංවර්ධනයට නිශාන්ත මුතුහෙට්ටිගම අත තියයි.

ගාලු වරායේ සංවර්ධනය වේගවත් කිරීමට මූලික අවධානය යොමු වී ඇතැයි වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ඒ සඳහා වූ මූලික සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ඇති විය හැකි අභියෝග විසඳීම සඳහා පියවර ගන්නා බවද එතුමා අවධාරණය කර සිටී. එතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ පරිසර හිතකාමී හරිත සංකල්පය මත පිහිටා ගාලු වරාය සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි. ඒ ගාලු වරායේ සංවර්ධනය ගැන සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි. එම සාකච්ඡාව අද (23) වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ. එම සාකච්ඡාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේ      කම් එල්. පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති මහාචාර්ය ප්‍ර‍සන්න පෙරේරා, එහි කළමනාකාර අධ්‍යක්ෂ සරත්කුමාර ප්‍රේමචන්ද්‍ර‍ මහතා ඇතුළු නිලධාරීහු රැසක් එක්වූහ.

ගාලු නගරය ලෝක උරුම නගරයකි. යුනිස්කෝ ප්‍ර‍ඥ්ප්තියට අනුකූලව එවැනි නගරයක් සංවර්ධනය කිරීමේදී පෞරාණික වටිනාකම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව යුනිස්කෝ සංවිධානයේද අධීක්ෂණය යටතේ ගාලු නගරයේ පරිසරයට සහ භූමියට හානියක් නොවන පරිදි ගාලු වරාය සංවර්ධනය කිරීම උදෙසා මේ වන විට සංවර්ධන සැලැස්මක් සකස් කර තිබේ. ඒ සඳහා ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක ජයිකා ව්‍යාපෘතිය මගින්ද මූල්‍ය ආධාර ලබාදී තිබේ. ගාලු වරායේ නව දියකඩනය ඉදිකිරීම එම මූල්‍ය ආධාර යොදා ගනිමින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව නැංගුරම් පොළ ගැඹුරු කිරීම, නැංගුරම් ජැටි ඉදි කිරීම මෙන්ම වරාය යටිතල පහසුකම් පුළුල් කිරීමද ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කිරීමට නියමිත වේ.

ලෝක උරුම නගරයක් වූ බැවින් ගාලු නගරය සංවාරක කර්මාන්තය සඳහා තෝතැන්නකි. ඒ අනුව ගාලු වරායේ රුවල් නෞකා නිකේතනයක් (Yacht Marina) ඉදි කිරීමටද මූලික සැලසුම් සකස් කර තිබේ. මේ වන විටත් ගාලු වරායට ලෝකයේ විවිධ රටවලින් දිනකට පැමිණෙන රුවල් නෞකා ප්‍ර‍මාණය 15 ත් - 20 ත් වේ. එය තවදුරටත් වැඩි කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දීම වරාය සහ නාවික අමාත්‍යාංශයේ අරමුණයි. එමෙන්ම ගාලු වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක සිමෙන්ති නිෂ්පාදනය පරිසර හිතකාමී ලෙස සිදු කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා ගන්නැයිද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. විශේෂයෙන්ම එතුමා පැවසුයේ සිමෙන්ති නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍ර‍ව්‍ය ගාලුවරායෙන් ගොඩ බෑමේදී ඒවා අවට පරිසරයට විසිර යාම අනිවාර්යෙන්ම වැළැක්විය යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික යෙදීම් සඳහා ආයෝජනය කිරීමට සමාගම් රැසක් මේ වන විටත් කැමැත්තෙන් සිටින බැවින් ඔවුන් සමඟ සාකච්ඡා කර ගිවිසුම් ගත විමට කටයුතු කරන්නැයිද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මෙහිදී උපදෙස් දුන්නේය.